ඩොලර් ඉතිරි කරන හැටි පරිපාලන නව ලේකම් කියයි


(ඩයනා උදයංගනී)

රට තුළ ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රාජ්‍ය සේවය ‘ඊ රාජ්‍ය සේවාවක්’ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගත් ප්‍රියන්ත මායදුන්න මහතා පැවසීය.

මෙහිදී සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට සිතා කටයුතු කළ යුතු බව කී ලේකම්වරයා කඩදාසි භාවිතය අවම කිරීම සඳහා ඊ තාක්ෂණය බහුල ලෙස භාවිතා කළ යුතු බව ද සඳහන් කළේය.

ඉන්ධන හා බලශක්තිය පිරිමැසීම වෙනුවෙන් හා විකල්ප ප්‍රවාහන ක්‍රමවේද භාවිතා කිරීම මෙන්ම රාජ්‍ය ආයතනවල ඇඳිය යුතු නිළ ඇඳුම අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවල පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ ඉඩ ලබා දීය යුතු බව ද මායාදුන්න මහතා කීවේය.

රටට ඩොලර් ඉතිරි කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් තුල ආකල්පයක් නිර්මාණය කළ යුතු බව කී ලේකම්වරයා ‘රට වෙනුවෙන් ඩොලරයක් ඉතුරු කරන්න’ යන තේමාව රට වැසියන් තුල ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව ද පැවසීය.

ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බැවින් සෑම ගෙවත්තකම, පොදු ඉඩමකම මෙන්ම සිද්ධස්ථාන සතු ඉඩම්වල වගා කටයුතු කිරීම සඳහා දිසාපතිවරු හරහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව කී ලේකම්වරයා උපාධිදාරී සංවර්ධන නිලධාරීන්ගෙන් ඵලදායි සේවාවක් ලබා ගැන්ම සඳහා ඉදිරියේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.