ඩොලරය 163 පනී



 

හර්ෂණ තුෂාර සිල්වා

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (5) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 163 සීමාව ඉක්මවා ගියේය. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 163.36ක් ලෙසත් ගැනුම් අගය 160.16ක් ලෙස සටහන් විය.

 

ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

 

බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (5) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 ඉක්මවා තිබිණි. ලංකා බැංකුවේ පමණක් එම අගය 163ක් ලෙස දැක්විණි.

 

රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල සම්පත් බැංකුවේ 164ක් ලෙසත්, මහජන බැංකුවේ 164.23ක් ලෙසත් කොමර්ෂල් බැංකුවේ 164.54ක් ලෙසත් සටහන්ව තිබිණි. 

 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 5.3කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 

ඊට අමතරව ඉකුත් අගෝස්තු මාසයේදී පමණක් රුපියලට එහි අගයෙන් සියයට 1.2ක් අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි. 

 

එම කාලයේදී යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.1කින් ද, එක්සත් රාජධානියේ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 6.8කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

 

එහෙත් ඉහත කාල සීමාවේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.5කින් ශක්තිමත් වී ඇත.

 

ගෝලීය වෙළෙඳ ගැටුම් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය දිගින් දිගටම ශක්තිමත් වෙමින් තිබෙන අතර ඒ නිසා ඩොලරයට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක දෛනිකව අවප්‍රමාණය වෙමින් තිබේ.

 

ඒ අනුව ඩොලරයේ ශක්තිමත් වීම නිසා දකුණු ආසියානු කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති මුදල් ඒකකය වනුයේ ඉන්දීය රුපියලයි. 

 

ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 71.8 දක්වා වාර්තාගත ලෙස ඉහළ යමින් ඉන්දීය රුපියලේ අගය අද (05) තවදුරටත් පහළ ගියේය.  

 

මේ වසරේ ගත වූ කාලයේදී ආසියානු කලාපයේ මුදල් ඒකක සැළකිල්ලට ගැනීමේදී දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත්තේ ද ඉන්දීය රුපියලයි.‍

 

ඇමෙරිකා එක්සත් ජනපදය, ගෝලීය වෙළෙඳ අර්බුද, දේශීය දේශපාලනයේ තිබෙන අස්ථාවර තත්ත්වයට අමතරව ඉන්දීය රුපියල දුර්වල වීම ද ශ්‍රී ලංකා මුදල් ඒකකය අවප්‍රමාණය වීමට හේතු වී තිබේ. 

 

ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශවකරු වන්නේ ද ඉන්දියාවයි.