ඩේසී ආච්චි නඩුවෙන් නිදහස් කරයි


 

(මනෝප්‍රිය ගුණසේකර)

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් පෞද්ගලික බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා ලැබ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැන්දනිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම චෝදනා වලින් කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (03) නිදහස් කළේය.

විත්තිකාරිය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්වයන්ගෙන් පීඩා විදින බැවින් ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති අධි චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දෙමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකාරිය නිදහස් කිරීමට තීරණය කළ විනිසුරුවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය කළේය.

2009 මාර්තු 31 වැනිදාත් 2013 දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලයේදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි 5 ලක්‍ෂ 90කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු කිරීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට සහ යෝෂිත රාජපක්ෂ මහතාට මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතා මහතා අධිකරණයේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් විත්තිකාරියට එරෙහිව මේ හා සමානම චෝදනාවක් යටතේ වෙනත් මහාධිකරණයක පැවති නඩුවකදී නුගේගොඩ දිසා අධිකරණයෙන් 2017 වසරේ මාර්තු 17 වැනිදා නිකුත් කළ නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කරමින් විත්තිකාරිය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් රෝගී තත්වයන්ගෙන් පීඩා විදින බැවින් ඇයට එරෙහිව අධි චෝදනා පත්‍රයක් පවරා පවත්වාගෙන යෑම තර්කානුකූල නොමැති බවට ඉදිරිපත් වු කරුණු මත නඩුවට මුහුණ දීම සඳහා ඇය සුදුසු මානසික තත්ත්වයකින් පසුවන්නේද? යන්න පිළිබදව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් කැඳවූ බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍යවරු අටදෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට පැමිණීමට ඇයට කායික හැකියාව තිබුණත් නඩු විභාගයට පෙනී සිටීමට සහ නීතිඥවරුන්ට උපදෙස් දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක නොමැති බවට එම වෛද්‍ය මඩුල්ල නිර්දේශ කර ඇති බවත් කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි මානසික තත්ත්වයකින් පෙලෙන අවුරුදු 98ක් වයසැති විත්තිකාරියට එරෙහි චෝදනාවන්ගෙන් ඇය මුදා හැරීමට ඉල්ලා සිටියේය.

පළමු විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය කියවා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා ඔහුට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට පැමිණිල්ල කටයුතු කරන්නේ යැයි කීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය නිදහස් කළ විනිසුරුවරයා විත්තිකාර යෝෂිත රාජපක්ෂ නමැත්තාට එරෙහි අධි චෝදනා පත්‍රය කියවා දුන්නේය.

ඒ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් අදාළ චෝදනාවට තම සේවාදායකයා නිවැරදිකරු බව කියා සිටියේය. නඩු විභාගය සඳහා අවශ්‍ය සාක්කි හා ලේඛණ සටහන් පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවත්එම ලේඛණ තමාට දීමට හැකියාව ඇද්ද? නැද්ද? යන්න පැමිණිල්ලෙන් විමසා බලා නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීම සදහා දිනයක් නියම කරන්නැයි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව දෙසැම්බර් 02 වැනිදා කැඳවීමට විනිසුරුවරයා දින නියම කළේය.