(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුන කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තවත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අද (18) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ පරීක්ෂණය හෙට(19) දිනයේත් පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවත් පරීක්ෂණය අවසන්වීමෙන් පසු ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාරදීමට නියමිත බවත් ආචාර්යවරයා කීවේය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන මුල්වරට හඳුනාගනු ලැබුවේද සැර කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසිනි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන පිළිබඳව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) මුල්වරට අනාවරණය කළේය.
ඩෙල්ටා ප්‍රභේදයේ මෙම විකෘති අවස්ථා තුන එස්. ඒ 222වී,එස්.ඒ 701එස් සහ එස්.ඒ1078එස් යනුවෙන් නම් කර ඇතැයිද ජයසුමන මහතා එහිදී පැවසුවේය .
මෙම විකෘති අවස්ථා සම්බන්ධයෙන් අප ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒවා හමුවූයේ කුමන සාම්පලවලින් දැයි තමාට මේ අවස්ථාවේදී නිශ්චිතවම පැවසිය නොහැකි බවයි.
කෙසේ වෙතත් ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා වැඩියෙන්ම යොමු කරනු ලැබුවේ කොළඹ ප්‍රදේශයෙන් ලැබුණු ජෛව පටල සාම්පල යැයි ඔහු වැඩි දුරටත් කීවේය.

