‘මගේ දුව විශ්ව විද්‍යාලයට සමත් වුනා නිසා එයාට උගන්වන්නයි මම ඩුබායි වල ගෘහ සේවිකාවක් විදියට ආවේ. ඩුබායි වල ඒජන්සියේ නෝනා දවස් 17 ක් මාව කාමරයක හිර කරලා මට දස වදදුන්නා. ඒ නෝනගේ මහත්තය මගේ කොන්ඩෙන් ඇදලා දවස් ගනනාවක්ම මට හොදටම ගැහැව්වා. මම එතනින් පැන නොගියා නම් මගේ මළ මිනිය තමයි ලංකාවට එන්නේ‘ යැයි ඩුබායි සිට දිවයිනට පැමිණි පී.පී ධම්මිකා(45) මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉකිබිඳිමින් පැවසුවාය.
තිදරු මවක් වන ධම්මිකා මහත්මිය හපුතලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ දරුවෝ පාසැල් වියේ පසුවෙති. ඇය දඹුල්ල ප‍්‍රදේශයේ රැකියා නියොජිත ආයතනයකින් ඩුබායි රටට යන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණ ඇතිවය.
මැද පෙරදිග මරු කතරේදි විවිධ හැල හැප්පීම් වලට ගොදුරු වූ ඇය මුලින්ම ඩුබායි තානාපති කාර්‍යාලය වෙත පලා ගොස් ඇත. ඩුබායි තානාපති කාර්‍යාලයෙන්ද පිහිටක් නොළත් ඇය එතනින් අබුඩාබි තානාපති කාර්‍යායාලය වෙත පලා ගොස් තානාපති ආචාර්‍ය මහින්ද බාලසූරිය මහතා හමුවී ඇය විදි දුක් කරදර සියල්ලම පවසා ඇත. ඉන්පසු ඇයට මෙරටට පන බේරාගෙන යලි පැමිණීමට හැකි වුවේ මහින්ද බාලසුරිය මහතාගේ මැදිහත්වීම මත කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක සහ දුමින්ද සතරසිංහ, එස්. අහලර් සහ අනුර ගුණසේකර යන නිලධාරීන් පිහිට වූ නාසා බව දිවයිනට පැමිණි ඇය කීවාය.
ඇයගේ දරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඇගේ ඡායාරූප පුවත් පත් වල ඵල නොකරන ලෙස ඇය අපෙන් ඉල්ලා සිටියාය.
නමුත් ඇය දිගින් දිගටම ඉල්ලා සිටියේ ඇයට වූ අසාධාරණය තවත් අයෙකුට නොවන්නට නම් ඇය විදි දුක් කම් කටොලු ඇගේ ඡයාරූපය නොමැතිව ලෝකයාට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසය.
ඇය විදි දුක ඇය නැවතත් මෙසේ විස්තර කළාය.
‘මම ලංකාවේ ඉදලා මුලින්ම ගියේ සාජා වලට. සාජා වලදී ලංකාවේ මාව යවපු රැකියා නියෝජිත ආයතනයට සම්බන්ධව ඩුබායි වල තියෙන රැකියා නියෝජිත ආයතනයෙන් ඇවිත් මාව අජමානි නගරයේ තියෙන අල් අමාන් ඒජන්සියට අරගෙන ගියා.
ඒ ඒජන්සියේ හිටියේ සිංහල නෝනා කෙනෙක්. ඇය මාව ගෙදරකට බාර දුන්නා. මම ඒ ගෙදර වැඩකරගෙන හිටියා. ඒ ගෙදර අයගෙන් මට කරදරයක් වුනේ නැහැ .
නමුත් මගේ අසනීපයකට මම බෙහෙත් බොනවා දැකලා ඒ අය මාව තියාගන්න බැහැ කිව්වා. එගොල්ලෝ මාව ගෙනාපු රැකියා නියෝජිත ආයතනයට දොස් කිව්වා අසනීප තියෙන කෙනෙක්ව එවලා කියලා.
මා එහි මාස දෙක හමාරක් වැඩ කළා. ඔවුන් මට මාස දෙක හමාරේ වැටුප ගෙවලා ආපසු අල් අමාන් ඒජන්සියට ගෙනවිත් බාර දුන්නා. ඔවුන් මාව ආපසු ලංකාවට යැවීමට ගුවන්ටිකට් පත් වලට යන වියදම පවා අල් අමාන් ඒජන්සියට දුන්නා.
නමුත් ඒ ඒජන්සියෙන් මට දොස් කියලා මාව තව ගෙදරකට ඩිරාම් එකොලොස් දාහකට වික්කා. ඔවුන් මාව ලංකාවට එව්වේ නැහැ. ඒ ගෙදර මාස දෙකක් වැඩ කළා. ඒ අයත් මගේ අසනීපය දැන ගෙන මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.
ඒජන්සියෙන් නැවතත් තුන්වෙනි වතාවටත් මාව ඩිරාම් අටදහසකට තවත් ගෙදරකට වික්කා. එතනත් මම මාස දෙකක් වැඩ කලා. ඒ අයත් කළේ මාස දෙකේ පඩි බේරලා මගේ පොතේ අකාමා ගහලා මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.
මගේ පොතේ අකාමා ගහපු නිසා දැන් මාව ඒජන්සියේ අයට විකුනන්න බැහැ. ඒ නිසා ඔවුන් මට අමාණුෂික ලෙස බැන වැදී මාව කාමරයක් ඇතුලේ හිර කළා. මම ඒ කාමරේ ඇතුලේ දවස් 17 ක් හිරවෙලා හිටියා.
ඒජන්සිය අයිති නෝනා ලංකාවේ කෙනෙක්. ඒ නෝනාගේ මහත්තයා ඇවිත් මගේ කොන්ඩෙන් ඇදලා මට අමානුෂික ලෙස හිසටයි, කොන්දටයි පහර දෙනවා. ඔය විදියට දවස් කිහිපයක්ම ඒ මහත්තයා ඇවිත් මට පහර දුන්නා. මාව කාමරේ හිර කරලා නිසා මට මොකුත් කර කියාගන්න විදිහක් තිබුනේ නැහැ. මේ වෙනකොට මම මානසිකවත් ශාරීරිකවත් හොදටම වැහිරිලා හිටියේ.
ඔහොම ඉන්නකොට ඒජන්සියෙන් කිව්වා ලංකාවට යවන්න රුපියල් ලක්ෂ දෙකහමාරක් ඕනා කියලා. මම කිව්වා මගේ ලග සල්ලි නැහැ ගෙදර අය ලගත් නැහැ කියලා. පස්සේ ඔවුන් මගෙන් පොරොන්දු ලිපියක් අත්සන් කර ගන්න උත්සහ කළා ලංකාවට යවන්න මගේ ගෙදර ඔප්පුව ලියාගෙන.
මම ඒකට කැමති වුනේ නැහැ. අන්තිමට සියළු ලියකියවිලි අරගෙන අත්සන ගන්න එනවයි කියපු දවසේ මාව හිරකරගෙන හිටිය කාමරේ දොරට මම හයියෙන් ගැහැව්වා. ඒක පාරටත් ඇහිලා පොලිසියෙන් ඇවිත් මාව බේරාගෙන ඩුබායි තානාපති කාර්‍යාලයට බාර දුන්නා.
ඩුබායි තානාපති කාර්‍යාලයේ නෝනා කෙනෙක් ඉන්නවා. එයාගේ යාළුවෙක් තමයි ඒජන්සියේ නෝනා. ඒ නිසා ඩුබායි තානාපති කාර්‍යාලයෙන් මට පිහිටක් ලැබුනේ නැහැ. ඔවුන් මට බෙහෙතක් පවා අරන් දුන්නේ නැහැ. මාව ආපසු ඒජන්සියට බාර දෙන්න උත්සහ කළ එක විතරයි ඔවුන් කළේ.
මම ඩුබායි තානාපති කාර්‍යාලයේ මාසයයි දවස් තුනක් හිටියා. බෙහෙත් නැති නිසා මා අසනීපව තවත් අසරණ වුනා. මා මිය යනු ඇතැයි මා සිතුවා. ඩුබායි තානාපති කාර්‍යාලයේ අය ඒජන්සියේ නෝනට උදව් කලා මිසක් මට පිහිට වුනේ නැහැ.
පස්සේ මට එතන හිටපු මම වගේ අතරමන් වෙලා ආපු ළමයි කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලය හොදයි කොහොම හරි එතනට පැනලා ගිහින් විස්තරේ කියන්න කියලා. ඉන් පස්සේ මම අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා ඇවිත් තානාපති මහින්ද බාලසූරිය මහත්තයට සේරම විස්තර කිව්වා. එතුමා මාව සමරවීර මහත්තයට යොමු කළා.
පස්සේ ඔවුන් මට බෙහෙත් හේත් අරන් දීලා දෙවිවරු වගේ සැලකුවා. මගේ ජීවිතේ අයිති ඔවුන්ටයි. ඒ මහත්තුරු නොහිටින්න මා මැරිලා ඉවරයි.
මට ලංකාවට එන්න උදව් කළේ සමරවීර මහත්තයා රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ,අනුර ගුණසේකර, එස්. අහලර් යන මහත්වරුන්ට මා පින් දෙනවා. ඔවුන් නිසා මගේ ජීවිතේ බේරුනා.
මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ බොරුකාර ඒජන්සකාරයින්ට තවත් අපි වගේ අහිංසකයින්ව රවට්ටන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ඩුබායි තානාපති කාර්‍යාලයට මනුස්සකම දන්නා එක් අයෙක්වත් යවන්න කියලා මම අවසාන වරටත් ඉල්ලා සිටිනවා යැයි අය අපෙන් සමුගැනීමට මොහොතකට පෙර ඇය පැවසුවාය.