ඩීව්ගේ පෙත්සම විභාගෙට


පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වන ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි ලබන 16 වැනිදා  සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.

පෙත්සම් විභාගයට සහභාගී වීමට විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා අකැමැත්ත පළ කිරීමෙන් පසු මෙය තීන්දු විය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ, සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. එහිදී පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිබඳ තීන්දුවක් ප‍්‍රකාශ නොකළ අධිකරණය පෙත්සම සම්බන්ධ නොතීසි පෙත්සමේ නම සඳහන් සියලූ වගඋත්තරකරුවන් වෙත දන්වා යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කළේය.

තමන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.