මැතිවරණයෙන් පරාජයට පත්වූවන් 11 දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම තරම් නීතීමය පදනමක් නොමැති බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) ගාස්තු රහිතව එම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලාමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරුන් මෙම පෙත්සම වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂඨාධිකරණය මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළේය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන් ,සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විවිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කළේ පසුගිය පාර්ලමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමෙන් පසුව ප්‍රකාශිත ගැසට් නිවේදනයෙහි නම නොමැති සහ මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.
පෙත්සම්කරුගේ නමද ඇතුළුව මුල් ජාතික ලැයිස්තුවේ නම සඳහන් අය වෙනුවෙන් පරාජිත අපේක්ෂකයින් සහ බාහිර පුද්ගලයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට මෙරට ජනතාවගේ සර්වඡන ඡන්ද බලය හෑල්ලූ කිරීමක් බවද හෙතෙම අධිකරණයට කියා සිටයේය.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණු ද සිල්වා මහත්මිව පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කළහ.
14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන කරුණු ව්‍යාකූල බවට පෙත්සම මඟින් දන්වා ඇති කරුණු පිළිගත නොහැකි බවට පෙත්සමේ වගඋත්තකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි එම නීතීඥවරු අධිකරණයට දන්වා සිටියහ.
14 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලාමේන්තුවේ සම්මත වී මේවන විට නීතියක් බවට පත්ව ඇති නිසා එවැනි නීතීයක් ,මෙවැනි පෙත්සමක් මඟින් අභියෝගයට ලක් කළ නොහැකි බවට මූලික විරෝධතාවයක් එල්ලවිය. මෙවැනි පෙත්සමක් සම්බන්ධයෙන් දෙන නියෝගයක් මඟින් එවැනි නීතියක් සංශෝධනය කළ නොහැකි බවට එහිදී සඳහන් විය.
එසේම මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනටමත් පාර්ලාමේන්තුවේ දිවුරුම් දී ඇති නිසා මෙම පෙත්සම පාර්ලාමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙමින් ගොනු කර ඇති බවද, කිසිදු අධිකරණයක පාර්ලිමේන්තුවකට එරෙහිව නියෝගයක් නිකුත් කිරීමේ බලයක් නැති බවද එම නීතීඥවරු පෙන්වා දුන්හ.
එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස වගඋත්තරකාර නීතීඥවරු දන්වා සිටියහ.
දෙපාර්ශවයේම නීතීඥවරුන්ගේ කරුණු සලකා බැලු අධිකරණය වගඋත්තරකරුවන්ගේ මූලික විරෝධතා පිළගැනීමට තීරණය කරමින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

