ඩිව්ගේ පෙත්සම යළි කැඳවීම 23


පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වන ඩිව් ගුණසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම පෙත්සම් විභාගයට සහභාගීවීමට විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා අකැමැත්ත පළ කිරීමෙන් ඔහු නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමටද තීන්දුවිය.

එම පෙත්සම ඊයේ(16) වැඩබලන අගවිනිසුරු චන්ද්‍රා ඒකනායක, ප‍්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

තමන්ව ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.