කවීෂා කාවින්දි තම මාපියන් වන ජනපි‍්‍රය හා සම්මානනීය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහ සමන් පුෂ්පවර්ණ සමග ඇමෙරිකාවට යන විට වයස අවුරුදු 6 ක් විතර ඇති. ඊට වසර 12 කට පසුව කවීෂා දැන් ලංකාවට ඇවිත්. ඒ නව යොවුන් සුන්දර කවීෂා එලෙස මුලින්ම ලංකාවට පැමිණියේ
පසුගිය ජනවාරියේදීය. ඉන්පසුව නැවත ඇමෙරිකාවට ගිය ඇය මේ ජූනියේදී යළි ලංකාවට ආවා. ඇයි කවීෂා නැවතත් ලංකාවට ආවේ? සුන්දර ඇය සමග අපි සඳැල්ල කතාබහට එක්වෙමු.
කවීෂා වයස කීයද?
අවුරුදු 19 ලබන්නෙ.
මොනවද කරන්නේ?
තවම සරසවි අධ්‍යාපනය ලබනවා. එක් අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 3 ක් ඉවර කරන්න තියෙනවා.

මොන අංශයෙන්ද උපාධිය හදාරන්නෙ?
ව්‍යාපාර කළමනාකරණය සහ ගණකාධිකරණ අංශයෙන්.
ඉන්පසුව?
උපාධිය හමාර කරලා මගේම මව් රටට පදිංචියට එන්නයි කල්පනාව. මගේම ව්‍යාපාරයක් ඇරඹීම අරමුණයි.
පසුගිය ජනවාරියේදී ඔබ ලංකාවට පැමිණියේ වසර කීයකට පසුවද?
වසර 12 කට පසුව. ලාල් වීරසිංහ අංකල් අධ්‍යක්ෂණය කළ ”සිංගා මචන් චාලි” විකට තේමාවක් රැගත් චිත‍්‍රපටයේ රඟපෑමට.
දැන් ආයෙත් මේ ජූනියෙ ලංකාවට ආවේ?
ජනවාරියේදී ඇවිත් ෆිල්ම් එකේ රඟපාලා යන්න ගියා. ඒ මුළු මාසයේදීම මට ලංකාවේ කිසිම තැනක ඇවිදින්න යන්න බැරි වුණා. දැන් නැවතත් ආවේ මම ආදරය කරන මගේ රටේ ඇවිදලා යන්න.
කොහේටද වැඩිපුරම ආස කරන්නේ?
නුවරට හරිම ආසයි. කොළඹ වගේ ලොකු සද්ද නැහැ. ඒ නිසා නිදහසේ කාලය ගතකරන්න පුළුවනි.
ඇත්තටම ඇයි කවීෂාට රඟපාන්න හිතුණේ? අම්මගේ අඩුව පුරවන්නද?
කුඩා කාලයේ ඉඳලාම රඟපෑමට කැමැත්තක් තිබුණා. නමුත් අම්මා මට අවස්ථාවක් දුන්නෙ නැහැ. උසස් අධ්‍යාපනය හමාර කරලා අනෙක් දේ කරන්න කීවා. අම්මා කැමැති මම ඉගෙනීමෙන් ඉදිරියට යනවාටයි.
ඉගෙනීමෙන් වාර්තා තියලත් ඇති නේද?
පාසල් අධ්‍යාපනය හොඳටම හමාර කළා. සරසවි අධ්‍යාපනය ආරම්භ කළාම ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට හේතු වුණේ පළමු වසරේදී අදාළ විෂයයන් පහට ‘A’’ (ඒ) සාමාර්ථ 5 ක් ලබාගත්ත නිසයි.
අම්මයි තාත්තයි ඔබ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇති නේද?
එයාලට මට දෙන්න පුළුවන් ඉහළම සතුට මම හොඳින් අධ්‍යාපනය ලැබීමයි. ඒ නිසා එයාලා සතුටු කරවනවා තරම් දෙයක් මට තවත් නැහැ.
අම්මා එහේ මොනවද කරන්නෙ?
රූපලාවන්‍ය ආයතනයක උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා භෝජනාගාර සේවයක කළමණාකාර තනතුරක් දරනවා. මගේ මල්ලී උපන්නේ එහිදී. එයාට දැන් අවුරුදු 10 යි.
ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?
හැමෝම වැඩ. කාලය ගෙවනවා දැනෙන්නෙ නැති තරමටම වැඩ. අපි හැමෝම එහෙමයි.
නිවාඩුවක් ලැබුණාම?
අපි එකතුවෙලා ගීත ගයලා, නටලා විනෝද වෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් ජිම් එකට යනවා.
දැන් ඔබට රඟපෑමට දිගටම ආරාධනා ලැබෙනවද?
ටෙලිනාට්‍ය දෙකක විතර හොඳ චරිත ලැබුණා. නමුත් වසර ගණන් මට කාලය වැය කරන්න බැහැ. තවම අධ්‍යාපනය හමාර කරලා නැති නිසා. දැන් මේ සැරේ ඇවිත් සිටින්නෙත් ගිම්හාන නිවාඩුවටයි. සිංගා මචන් චාලි චිත‍්‍රපටයට අමතරව තවත් චිත‍්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් තවම ඒ ගැන හිතුවේ නැහැ. ලබන දෙසැම්බර්වල නැවත ලංකාවට එනවා.
අම්මා රඟපෑ චිත‍්‍රපට අතරින් ඔබ වඩා කැමැති චිත‍්‍රපට මොනවද?
සීතල ගිණිකඳු, සුජාතා, බිතුසිතුවම් චිත‍්‍රපට චරිතවලට ආසයි. රන්දෝලි සහ සෙනුරි ටෙලි චරිතවලටත් කැමැතියි.
අම්මා ලංකාවට නැවත ඒමට අදහසක් නැද්ද?
හොඳ චිත‍්‍රපටයක රඟපෑමේ ලොකු ආසාවක් අම්මට තියෙනවා. හොඳම චරිතයක් ලැබුණොත් බාර ගනීවි.
කවීෂා ඔබ කොහොම කෙනෙක්ද?
සංවේදී, වඩා මිත‍්‍රශීලී කෙනෙක්. මගේ මිතුරු මිතුරියන් එක්ක නිතරම ඉන්න ආසයි. හුදෙකලාවට කැමැති නැහැ. ගීත ගායනයටත් ආසයි. මොනවා කළත් අධ්‍යාපනයට තමයි මුල් තැන.




