ටැන්සානියාවේ කිලිමන්ජාරෝ කඳුවැටිය තරණය කළ තරුණයෙක් ලංකාවට


(ටී.කේ.ජී.කපිල )
අප්‍රිකානු මහාද්වීපයේ ,ටැන්සානියාවේ පිහිටි කිලිමන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු  කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
 මෙම කදුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර , අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.

මෙම කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩ ආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි .
 

රංග පද්ම මහතා  දැනට ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවරත් , සුදම් ගමගේ  මහතා එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති .

 මෙම කදු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම මහතා   23 දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . ඔහු පිළිගැනීම සදහා සිය දෙමාපියන් ඇතුළු ඥාතී - හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

 මෙහිදී සිය අත්දැකීම් විස්තර කළ  රංග මහතා 

අපි මේ කන්ද නගින්න පහුගිය 16 වැනිදා  . මේ කන්ද අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උසයි . මේ කන්ද දැනට අක්‍රිය ගිනි කන්දක් . ඒත් මීට වසර 200 කට විතර පෙර යම් විදාරණය වීමක ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා.මෙම  කිලිමන්ජාරෝ කදු වැටිය වර්ග කිලෝ මීටර් 756 පුරා පැතිරුණ , යුනෙස්කෝ සංවිධානය විසින් ද ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරල තියෙන තැනක් .
 
 මේ කන්දෙ කිබෝ , මාවෙන්සි සහ ෂිරා කියල ප්‍රධාන කදු මුදුන් තුනක් තියෙනවා . එයින් උසම තැන කිබෝ කදු මුදුනේ තියෙන උහුරු නැමැති ස්ථානයයි.විශාල ජෛව විවිධත්වයකින් යුතු , ප්‍රධාන දේශගුණික කළාප පහකින් සමන්විත මේ කදු වැටියේ උසම තැනට දින පහක් තිස්සේ නැගලා 20 වැනි දා අපි උහුරු වෙත ළගා වුණා. එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි . හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අපිට ඇති තරම් එතැන නැහැ .ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීප දෙනෙක් ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා . පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතර දෙනෙක් , කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා . අපිට හුගාක් ලොකු සහයක් එරට මග පෙන්වන්නන් ලබා දුන්නා යැයිද ,  පැවසීය