ටාසන් වික්‍රමයකින් අබුඩාබි ඒජන්සියෙන් පනිති


’ මාස දෙක හමාරක් තිස්සේ  අපි වැසිකිලි වතුර බිබී බඩගින්නේ හිටියේ.  ඒජන්සියේ  ඉහළ මාලයේ කුඩා කාමරයක  අපව සිර කර අතින් පයින් පමණක් නොව   පුටු, මේස කකුල් වලින් පවා අපට ගැහුවා.  කෑ ගැසූ  විට කටට ස්ටෙප්ලර් කටු  පවා ගැහුවා. ඉවසන්න බැරිම තැන අපි එතනින් පැනලා යන්න තීරණය කළා.  මම කතුරක් හොයාගෙන දවස් තුනක් තිස්සේ  අපි හිටපු කාමරයේ ජනෙල් රාමුවේ  ඇන ගැලෙව්වා.  මා ලග යාර පහ මාරක් දිග ගවුම් රෙද්දක් තිබුනා. ඒකට තව සල්වාරි වලට අදින  ෂෝල් තුන හතරක් ගැට ගැහැව්වා. ඊට පස්සේ පුටුවක ගැටගහලා ජනේලය උඩින් දාලා ඒකේ ආදාරයෙන් ඒජන්සියේ හිරකරගෙන  සිටි තවත් තුන් තිදෙනෙක්ව  බිමට බැස්සෙව්වා. එයාලගේ බඩු සේරම ඒ විදියට බිමට  බස්සලා තානාපති කාර්‍යාලයට  පැනලා යන්න සැලැස්වුවා. ඒත් අන්තිමට මම මහත වැඩි නිසා මට බිමට පනින්න බැරි වුනා‘  යැයි අබුඩාබි  ඒජන්සියක  මාස දෙක හමාරක් තිස්සේ දස වද විදිමින් සිට යලි දිවයිනට පැමිණි එස්. රාජේෂ්වරී මහත්මිය  කීවාය.

ඇය සමග එම රැකියා  නියෝජිත ආයතනයේම  සිරවී සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු වන මහනුවර පිලිමතලාවේ  අනුලාවතී මැණිකේ සහ ඉංගිරියේ ජේ.ඒ අමරාවතී යන අයද දිවයිනට පැමිණියහ.

රාජේස්වරීගේ සහය මත අබුඩාබි තානාපති කාර්‍යාලයට පැන ගත්  කතුන් විසින්  අදාල ඒජන්සියේ සිරකරගෙන සිටින ශ‍්‍රී ලාංකික කතුන්  පිළිබඳ තොරතුරු එහි නිලධරයන්ට  කීහ.

පසුව අබුඩාබි  තානාපති ආචාර්‍ය  මහින්ද බාලසූරිය මහතාගේ  මැදිහත් වීම  මත  කම්කරු අංශයේ පළමු ලේකම්වරුන් වන  විශ්ව දිසානායක,  එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ, පුබුදු ජයතිලක සහ අහලර් සුබායිර් යන මහත්වරුන් මෙම පිරිස සිර කරගෙන සිටි ඒජන්සිය සොයා ගොස් ඇත. එහිදී   ඒජන්සිකරුවෝ පවසා ඇත්තේ කිසිදු ශ‍්‍රී ලාංකික කාන්තාවක් තමන් සිර කරගෙන නැති බවය. 

පසුව පැය ගනනාවක් එම ස්ථානයේ රැදී  සිටි තානාපති නිලධරයෝ  මහත් පරිශ‍්‍රමයක් දරා  රාජේස්වරී ඇතුළු කතුන්  මුදවාගෙන තානාපති කාර්්‍යාලය වෙත රැගෙන ගොස් ඔවුන්ට වෛද්‍ය ප‍්‍රථිකාර සහ අනෙකුත් පහසු කම් ලබා දී මෙරටට පැමිණීමට පහසුකම් සලසා දුන් බව දිවයිනට පැමිණි මොවුහු කීහ.

එම නිලධාරීන් නොවන්නට  තමන් සියල්ලන්ම එහිදී  මිය යන්නට පවා ඉඩ තිබුනා යැයිද   ඔවුහු කීහ.

මොවුන් සියළු දෙනාම අබුඩාබි ගෘහ සේවය  සඳහා  ගොස් තිබුනේ කොළඹට තදාසන්න රැකියා නියෝජිත ආයතනයක් හරහාය.

තම අත් දැකීම්  විස්තර කරමින් රාජේස්වරී  පවසන්නේ

මගේ දුවයි පුතයි ඉගෙන ගන්න හරිම දක්ෂයි. එයාලා මීගමුවේ හොද පාසැලක අධ්‍යාපනය ලබනවා.  ඔවුන්ට හොද අධ්‍යාපනයක්  ලබා දෙන බලාපොරොත්තුවෙන් තමයි මම මැද පෙරදිග ගියේ. 

අබුඩාබි වල වැඩ කරපු මුල්ම ම ගෙදර මම මාස තුනයි දවස් අටක් වැඩ කළා. එතන තිබුන වැඩ කන්දරාව උහුලගන්න බැරිව ටික දවසක් යනකොට මගේ ඔළුව කැරකිල්ල ආවා. කකුල් අත පය ඉදිමිලා මාව අසනීප වුනා.

හාම් පුතාලා මුලින්ම මට  එක සැරයක් බෙහෙත් අරන් දීලා කිව්වා  කිව්වා මේ පාර විතරයි අපි අරන් දෙන්නේ ඊ ලග පාර උඹ  බෙහෙත් වලට සල්ලි ගෙවන්න  ඕනා කියලා.

මෙහෙම ඉන්නකොට දවසක් මට කලන්තෙ දාලා වැටුනා.  ඉන්පස්සේ හාම්පුතාලා මාව ඒ රටේ ඒජන්සියට ගිනිහින් දැම්මා.  ඒජන්සියේ අය  මගේ අසනීප තත්වය තුට්ටුවකට මායිම් කළේ නැහැ. 

ඔවුන් කළ එකම දෙය මාව තව ගෙවල් කිහිපයකට දීලා මුදල් ලබා ගත් එක පමණයි. එහෙම ලබා ගන්නා මුදල් මට දුන්නේ නැහැ ඔවුන් තියාගත්තා. ඔවුන්  මාව ගෙවල් තුනකට දැම්මා.

දවසක් මහ  රෑ    දොලහට  විතර ඒජන්සියේ අය  කිව්වා උඹව  ඕමාන් යවනවා ලෑස්තිවෙයන් කියලා. ඒ වෙලාවේ  ඕමාන් ඉදලා හාම්පුතෙක් ඇවිත් හිටියා මාව අරගෙන යන්න.

මම බැහැ කිව්වා. එද මට හොදටම ගැහැව්වා. එදා ඉදලා මට කන්ඩ දුන්නේ නැහැ. මම බිව්වේ වැසිකිලියේ වතුර. මට මාස දෙකක් තිස්සේ දස වද දුන්නා. පොත් වලින් ගහනවා, වැඩිය කතා කලොත් ස්ටෙප්ලර් මැසිම අරගෙන කටට ස්ටෙප්ලර් කටු ගහනවා. පයින් ගහනවා. පුටු මේස වලින් දමලා ගහනවා. පුදුම දස වද දුන්නේ. කන්ඩ කියලා දුන්නේ අමු හාල් පැකට් එකක් විතරයි. මම ඒක  වැසිකිලි වතුරෙන් තම්බලා තේ කහට එක්ක කෑවා.

ඒ අතරේ මට වගේම දස වද දුන් තව ලංකාවේ කාන්තාවන් හතර දෙනෙක් හිටියා. අන්තිමට අපි හිතුවා මෙතනින් පැනලා යමු කියලා. අපිව හිර කරලා තිබුන කාමරයේ ජනේලයක් තිබුනා. මම කතුරක් හොයාගෙන දවස් තුනක් තිස්සේ ඒ ජනේලයේ රාමුවේ ඇන ගැලෙව්වා. 

මේ වැඬේට පිලිපීන කාන්තාවන් දෙදෙනෙකුත් උදව් කළා. මා ලග යාර පහමාරක් දිග ගවුම් රෙද්දක් තිබුනා. තව අපි අදින සල්වාර් වලට දාන් ෂෝල් වගයකුත් තිබුනා. ඒවා හොද හයියට ගැට ගැහැව්වා.  පස්සේ කාමරේ තියන පුටුවක ඒවා ගැටගහලා ජනේලය හරහා  බිමට දැම්මා. පිලිපීන කාන්තාවෝ දෙන්නා  පුුටුව හයියෙන් අල්ලා ගත්තා.

ඉන්පස්සේ ඒ ඔස්සේ තුන්දෙනෙක්ව පරිස්සමට අපි හිටපු  උඩ තට්ටුවේ ඉදලා බිමට බැස්සෙව්වා.   එක්කෙනෙක් අනුරාධපුරය පැත්තේ අමරාවතී කියලා කාන්තාවක්. එයා අද අපිත් එක්ක ආවා. අනිත් දෙන්නා කල්පිටියේ මේකලා සහ අක්කරපත්තුවේ පුෂ්පරාණි.

පස්සේ ඔවුන්ගේ  තිබුන  ඇදුම් බෑග් ටිකත් බිමට බස්සලා ඔවුන්ට කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා යන්න කියලා.

ඒත් එදා මට පැනලා යන්න බැරි වුනා. මොකද මම ගොඩක් මහතයි. මම බහින්න ගිහින් අනතුරක් වුනා නම්  අර බැහැපු කට්ටියවත් ඒජන්සිකාරයන්ට අහුවෙනවා. මම ඔවුන්ට කිව්වා මේ ගැන තානාපති කාර්‍යාලයට ගිහින් කියන්න කියලා.  එදා  ඒජන්සිකාරයෝ මෙයාලට පැනලා යන්න මම උදව් කළ බව දැනගත්තා නම් මාව මරා දමන්න පවා ඉඩ තිබුනා. 

පහුවදා ඒජන්සියේ  කට්ටිය පැනලා ගිය බව දැනගෙන මගෙන් ඇහුවා ඇයි උඹ පැනලා ගියේ නැත්තේ කියලා. මම  කිව්වා මම පැනලා යන්න නෙමෙයි ආවේ කීයක් හරි හම්බ කරගන්න කියලා. ඇයි පැනලා ගිය අය  උඹට  කතා කළේ නැද්ද කියලා ඇහුවා. මම කිව්වා මගේ ලග දරකතනයක් නැහැනේ කියලා.

 ඔය අතරේ ඒජන්සියට සහිරා කියලා ගැහැණු ළමයෙක් ආවා. එයා මම තේ කහට එක්ක බත් කන හැටි දැක්කා.  එයා මට අබුඩාබි තානාපති කාර්‍යාලයේ කම්කරු අංශයේ   තෙවන ලේකම් රුවන් ගුණතිලක මහත්තයාගේ දුරකතන අංකය දුන්නා.

ඒත්  ඇයට එදා ඒජන්සියේ අය හොදටම ගැහැව්වා. ගහලා  ඕමාන් ඇරියා.  එයා අපිට කළ උදව්වට එයා වෙනුවෙන් කරන්න දෙයක් මට තිබුනේ නැහැ. මොකද අසනීප තත්වයයි, හාමතේ හිටපු නිසයි මම කායිකව මෙන්ම මානසිකව වැටිලා හිටියේ.

අපිට  දුරකතනයක් වත් පාවිච්චි කරන්න දුන්නේ නැහැ. හොයලා ගන්නවා. මට දුරකතන දෙකක් තිබුනා. එකක් ඔවුන්  අරගත්තා. ඒ නිසා අනිත් එක්ක  මම හංගලා තිබුනේ.

දවසක් රෑ දොලහට විතර කාටත් හොරෙන් මම ඒ දුරකතනය අරගෙන රුවන් මහත්තයට  එස්.එම්.එස් පනිවඩයක් යැව්වා මම ඉන්න තත්වය කියලා කොහොම හරි මාව බේරා ගන්න කියලා.  කොහොම හරි රුවන් මහත්තයා පාන්දර දෙකට විතර මට දුරකතනයෙන් කතා කළා. බය වෙන්න එපා, කලබල වෙන්න එපා අපි ඔයාව බේරාගන්නවා  කියලා කිව්වා.

ඉන් පස්සේ මම අපි ඉන්න තැන කියලා නැවත එස්.එම්.එස් එකක් යැව්වා. පස්සේ රුවන් මහත්තයා කිව්වා අපි එනවා ඔයාව බේරගන්න කියලා.  එදා හවස පහට විතර සර්ලා ආවා. එතකොට අපිව  හංගලා තිබුනේ. ඇවිත් අහලා තිබෙනවා ශ‍්‍රී ලංකාවේ අය ඉන්නවද කියලා.  එජන්සියේ අය මුලින්ම  අපි එතන නැහැ කියලා තියෙනවා.

පස්සේ සර්ලා මගේ  නම කියලා හයියෙන් කෑ ගැහුවා. මගේ දුරකතනයට කතා කළා. එතකොට මම එළියට ආවා. ඒ වුනාට  අපිව බාර දෙන්න බැහැ කිව්වා. කොහොම හරි සර්ලා පැය දෙකක් විතර ලොකු සටනක් කරලා අපිව එළියට ගත්තා. පස්සේ මම සර්ලට කිව්වා මම වගේම තවත් නුවර පැත්තේ එකකෙනෙකුත් ඉන්නවා එයාවත් එලියට ගන්න  ඕනේ කියලා.  පස්සේ සර්ලා එයාවත් එළියට ගත්තා.

මම රට ආවේ ගේ උකසට තියලා. දැන් ඒක සින්න වෙලා. ඒජන්සිවලින් අපිට බොරු කියලා, මවලා පෙන්නලා  රට අරිනවා. අපි අසරණ වුනහම  ලංකාවට යවන්නනම් ලක්ෂ තුන හමාරක් ඒජන්සියට ගෙවන්න කියලා කියනවා. ලංකාවෙන් අපිව ඇරපු ඒජන්සියට ගෙවල් වල අය දැන්වුහාම කරන්නෙත් අපිට බැනලා බැනලා සල්ලි ඉල්ලනවා ලක්ෂ ගනන්.

ඒජන්සිකාරයෝ  කරන්නේ අපිව  ලබා දෙන්න හාම්පුතාලගෙන් ලක්ෂ ගනන් ගන්නවා. අපිට ශත පහක්වත් ලබා දෙන්නේ නැහැ. ඒත් අන්තිමට අසරණ වුනහම හාම්පුතාට ගෙවන්න   ඕනා කියලා අපෙන් ලක්ෂ ගනන් ඉල්ලනවා.

මම අවසාන වශයෙනුත් ඉල්ලා සිටින්නේ මෙවැනි ඒජන්සි සමග ලංකාවේ කිසිම ඒජන්සියකට සම්බන්ධකම් පවත්වන්න මින් ඉදිරිටත් ඉඩ දෙන්න එපා. මොවුන්ගේ කටයුතු සොයා බලා බලපත‍්‍ර අවලංගු කර දමන්න.

රාජේස්වරීගේ ආදාරයෙන් ජනේලයෙන් බිමට පැන තානාපති කාර්‍යාලයට පලා ගිය ඉංගිරියේ ජේ.ඒ අමරාවතී  මහත්මිය ඇය මුහුණ දුන් අත් දැකීම් මෙසේ කීවාය.

මම  අබුඩාබි ආවේ බාගෙට හදන නිවසේ වැඩකටයුතු සම්පුර්ණ කරගන්න. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා  බිබී ඇවිදිනවා.

මාව වැඩට වැටුන ගෙදරින් මම ගිය දවසේ ඉදලා  දවස් දොලහක් මට කන්න දුන්නේ නැහැ. වැඩ ගන්නවා විතරයි.

ඒ ගෙදර පහලොස් දෙනෙකුගේ වැඩ මම කළා. ඒ අය කුස්සියේ දොර ලොක්කරනවා. මට වුනේ බඩ ගින්නේ ඉන්නයි.  කෑමක් හොයාගෙන කෑවෙත් හොරෙන්.   දවසක් මම කිව්වා මට බඩගින්නේ වැඩ කරන්න බැහැ. මාව ඒජන්සියට ගිහින් දාන්න කියලා.  පස්සේ ඒ අගදර අය මාව ඒජන්සියට ගෙනත් දැම්මා.

 ඒජන්සියේ පුංචි කාමරයක අපිව හිර කරලා තිබුනා.  එතන පිලිපීන කාන්තාවෝ 04 යි, ඉන්දුනීසියාවේ 03 යි, ලංකාවේ 05 කුයි හිටියේ. අපිට නිදාගන්නවත් ඒ කාමරය මදි. 

කන්නත් නැහැ. අපිට දස වද දෙනවා. බැරිම තැන අපි පැනලා යන්න තීරණය කලා. දවසක් රෑ තිස්සේ සැලසුම් කරලා එළිවෙන පාන්දර රෙදි ගැට ගහලා අපි බිමට පැන්නා.  ජීවත් වුනත් මැරුනත් කමක් නැහැ කියලා හිතාගෙන තමයි අපි බිමට පැන්නේ. එහෙම පනින්න ගිහින් මගේ කකුලක් පැලූනා. මම බිමට පැන්න ගමන්ම කාරකෙක්  යටට රිංගලා හැංගිලා හිටියා අනිත්  අයත් පනින කම්.  රාජේස්වරී අපිට උදව් කළා නමුත් එයාට පනින්න බැරි වුනා එයා මහත නිසා. අපි හතර දෙනෙක් ටැක්ෂියක් කතාකරගෙන අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා ගියා.

තානාපති කාර්‍යාලයේ මහත්වරුන්ට අපි විස්තරය කිව්වා. ඔවුන් අපිට කාරුණිකව සලකා ලංකාවට එන්න අවස්ථාව සලස දුන්නා.

රාජේස්වරී සමග දිවයිනට පැමිණි  මහනුවර පිළිම තලාවේ අනුලාවතී මැණිකේ ඇය විදි දුක් මෙසේ කීවාය.

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා මීට ගොඩක් කාලෙකට කලින් බීලා බීලා  මිය ගියා. 

මම  අබුඩාබි ගියේ පහු ගිය ජූලි 31 වෙනිදා.  මම වැඩ ක‍ළේ  දෙමහල් නිවසක.   එහි කාමර අටක් තියෙනවා. වැසිකිලි 6 ක් තියෙනවා. පවුල් තුනක් 18 දෙනෙක් ඉන්නවා. ලොකු අය 10 යයි ළමයි 08 යි.  මේ දහ අට දෙනාගෙම වැඩ මම කරන්න  ඕනේ. උයනවා පිහිනවා මදිවට ගෙවල් සුද්ද කරන්න, ටොයිලට් හෝදන්න, ඒ මදිවට එළියේ අක්කරක විතර ප‍්‍රමාණයක් හැමදාම සෝදන්න වුනා.

පාන්දර තුනට වැඩ පටන් ගන්නවා. රෑ එක දෙක  වෙනකම් එක දිගට වැඩ කරනවා. කන්ඩ දෙන්නේ  නැහැ.  දවස් 26 ක් වැඩ කරන කොට මට වැඩ වැඩි කමට මාව අසනීප වුනා.  වරින් වර මාව කලන්තේ හැදිලා කැරකෙන්න ගත්තා. මම වැඩ කරන්න අමාරුයි කිව්වම ඒ අය මට ගැහැව්වා.  මම කිව්වා මම ආවේ ගුටිකන්න නෙමෙයි මාව ඒජන්සියට ගිනිහින් දාන්න කියලා.

ඉන්පස්සේ මට හොදටම ගහලා මාව ඒජන්සියට ගිහින් දැම්මා. මට හිටගෙන ඉන්න පන තිබුනේ නැහැ. ඒජන්සියෙන් කළේ මට පොලිසියේ, හමුදාවේ වගේ සීරුවෙන් ඉන්න කිව්වා.

ඔය  අතරෙදි තමයි මට රාජේස්වරීව හම්බ වුනේ. රාජෙස්වරී මා ගැනත් කියල අබුඩාබි තානාපති කාර්යාලයට කතා කරලා තිබුනා.

ඔය අතරෙදි තමයි අබුඩාබි තානාපති කාර්‍යාලයේ පළමු  ලේකම් විශ්ව දිසානායක, කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ, පුබුදු ජයතිලක සහ අහලර් සුබායිර් යන මහත්තුරු අපිව හොයාගෙන ආවේ. ඔවුන් ඇවිත් අපිව ඉල්ලූවා.  ඒජන්සියේ අය නැහැ කිව්වා.

ඉන් පස්සේ තානාපති මහත්තුරු අපේ නම් කියලා කෑගැහැව්වා. එතකොට රාජේස්වරී එළියට  ආවා. ඉන්පස්සේ රාජේස්වරී  කියලා තමයි මාව එළියට ගත්තේ.

ඹගේ සැමියා මිය ගිය දා  ඉදලා අද වෙනතුරු මම මැද පෙරදිග රටවල සේවය කරලා තමයි ජීවත් වුනේ. මම රට ගිය පස්වෙනි පාර මේක. මම සෞදි, කුවෙට්, බහරේන් සහ ඩුබායි වල සේවය කර තියෙනවා. මෙවැනි කරදරයකට මුහුණ පෑ පලමුවෙනි වතාව මෙයයි.

ඇත්තටම මෙහෙම දේවල් වෙන්නේ අපිව ලංකාවෙන් යවන රැකියා නියෝජිත ආයතනය කිසි වගකීමකින් කටයුතු නොකරන නිසයි.  ඔවුන්ට  ඕනේ සල්ලි විතරයි. 

අපි  අසරණ  වුනහම  අපිව තව තවත් අසරණ තත්වයට පත්කරනවා. ඔවුන් කියන්නේ ලංකාවට ආපසු යන්න නම්   ලක්ෂ ගනන්  ගෙවන්න කියනවා. මම රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසාධාරණකම්  කරන  රැකියා නියෝජිත ආයතනවල බලපත‍්‍ර අවලංගු කරන්න. නැත්නම් වෙන්නේ අපි වගේ අසරණයෝ තව තවත් කබලෙන් ලිපට වැටෙන එකයි.