ට්‍රම්ප්ගෙ බද්ද හදිසි අවස්ථාවක් සේ සලකා පියවර ගන්න


(අංජුල මහික වීරරත්න)

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.

මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව රට දැනුවත් කළ යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

"ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් දමා තිබෙනවා.ඒ මාස තුන අවසන් වන විට මේ තීරු බද්ද ක්‍රියාත්මක වන්නට නියමිතයි.ට්‍රම්ප් ජනපති එම කාරණය තම මැතිවරණ ප්‍රකාශයේද ප්‍රකාශයට පත් කොට ඇරැඹූ නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට බැහැ.

ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළ ද 25-30% ක හෝ තීරු බදු ගෙවන්න වෙනවා නම් එය අපට විශාල ප්‍රශ්නයක් වෙනවා.අපගේ ව්‍යාපාර වල ලාභාන්තිකය දෙස බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදු වලින් ලාභ ලබන්නට බැහැ.එය අලාභයක් බවට පත්වෙනවා.තීරු බදු වැඩිවීමත් සමග මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩුවෙනවා.ඒ නිසා අපට ප්‍රශ්නය තිබෙනවා.අප ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.මේ මාස තුන අවශ්‍ය වී තිබෙන්නේ රටවල් දෙක අතර සාකච්ඡා පැවැත්වීමටත් චීන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහාත්ය. මේ බද්ද නවත්තන්නට බැහැ .එය ක්‍රියාත්මක වෙනවා.රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකියි.ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි කියනවා.රැකියා නැතිවන ගණන ලක්ෂය වුවත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාලයි යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.