ඥානසාර හිමියන් ගැන නීතිඥවරියගෙන් පොරොන්දුවක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය සහතියක් සමඟ ලබන නඩු දිනට අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වන බව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූෂා පේරුසිංහ මහත්මිය අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතීඥවරිය එසේ දැනුම් දුන්නේ ඥානසාර හිමියන්ට එරෙහි අපහාස නඩුව අද (24) රෝහිණී වල්ගම සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම නඩුව එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 31 වැනිදා විභාගයට දින නියම කෙරිණි.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.