ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොල)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වි සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය බලශූන්‍ය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව ලබාදී ඇත්තේ සිය බලය අභිබවා අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දූවෙ සඳහන්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ අදාළ ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක තීන්දු ප්‍රකාශයට පත් කරමිනි.

මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණී.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝතී සරවනමුත්තු ගොනු කොට තිබූ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධි මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අනෙකුත් විනිසුරුවරු දෙපළගේ එක ගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.

2016 ජනවාරි 03 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙදි අවසරයකින් තොරව අධිකරණ ඇමතීම සහ අධිකරණයට බාධා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අභියාචනාධිකරණය විසින් වරදකරු කළ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර 19 ක සිර දඬුවම් නියම කොට එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවට නියෝග කර ඇති අතර එම සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් පෙන්වා දෙති.

එසේ තිබියදී සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයාගේ එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඥානසාර හිමියන් නිදහස් කරමින් ලබා දුන් සමාව බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

ඉදිරිපත් වූ කරුණු ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ ජනාධිපති සමාව ලබාදී ඇත්තේ හුදෙක්ම අතිරේක ලේකම් නීති ලබාදෙන ලද උපදෙස් මත බවයි.