ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල 24 වැනිදා විභාගයට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ  ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන්  අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල  විභාග කිරීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නගා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.

 

මෙම චෝදනා පත‍්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා මීට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පැමිණිල්ල පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කරමින් එම හිමියන්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට තීන්දු කරන ලදී.