ජ‘පුර රෝහලේදී මියගිය රෝගියාට කොරෝනා නෑ


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදුන් බවට පළවූ වාර්තාව  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  රත්නසිරි හේවගේ මහතා ප්‍රතික්ෂේප කරයි. වෛද්‍ය හේවගේ මහතා පවසන්නේ  අදාළ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොතිබූ බවයි.

“ඒ රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වෙලා තිබුණ බවක් තහවුරු වෙලා තිබුණේ නෑ.... ඒ කොහොම වුණත් අද රටේ පවතින තත්ත්වය අනුව, කිසිම ආකාරයක අවදානමක් ගන්න බැරි නිසා අපි රෝගියාගේ ඥාතීන්ට සිරුර බාර දුන්නේ කළුබෝවිල මහ රෝහලේ අධිකරණ   වෛද්‍ය නිලධාරියාවත් ජයවර්ධනපුර රෝහලට ගෙන්වාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිටදීමයි“ යයිද වෛද්‍ය හේවගේ මහතා ලංකාදීපට පැවසීය.

“මේ සිදුවීම සම්බන්ධයෙන් පළවූ වැරදි වාර්තා නිසා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයත් මහත් සිත් පීඩාවට පත්වෙලා“ යයිද ඔහු කීය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇතැයි මාධ්‍ය නිවේදනයක් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30 වැනිදා) නිකුත් කරන ලදි. ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තිය සඳහා පාදක වූයේ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (30 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි වියේ පසුවූ මෙම රෝගියා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද බවත් ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් ‍පීසීආර් පරීක්ෂණයක් ද කළ බවත් එම නිවේදනයේ සටහන් වී තිබේ. එම පරීක්ෂණය කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී බවත්, එම පරීක්ෂණයෙන් ඔහුට  කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇ.ති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේ වුවත් පසුව මෙම රෝගියාගේ මෘතදේහයෙන් ලබාගත් පෙණහලුවල කොටස් කොළඹ අයි.ඩී.එච් රෝහලට යවා පරීක්ෂා කිරීමේදී එම රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසු,  අදාළ රෝගියාගේ මෘත දේහය ඥාතීන් වෙත බාරදීම සඳහා රෝහල් කළමණාකාරීත්වය තීරණය කළ බවත්  සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේම සඳහන් වේ.

 

සබැඳි  - මියගිය කොරෝනා රෝගියාගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් චෝදනා