ජේ.එච්.ජයවර්ධන ජීවිත රඟමඩලින් බැස යයි


ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.

1921 කුරුණෑගලදී උපත ලද ජයවර්ධන මහතා කලක් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කළ අතර කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගුවන්විදුලිය හරහාය. ඔහු දඩයම, හඳයා, සප්ත කන්‍යා, අධිෂ්ඨානය, අයෝමා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වී ඇත.

කැලණි පාලම, මකරාක්ෂයා, උතුරේ රාහුල, ඉඩම, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් එක්වී ඇති ඔහු හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රංගනයටද එක්විය. ඊට අමතරව ලොක්කෙ මාමා, දළ රළ පෙළ වැනි ටෙලි නාට්‍ය රැසක චරිත නිරූපනය කළ ජයවර්ධන මහතා සරසවි හා ජනාධිපති සම්මානවලටද පාත්‍ර වී ඇත.

1997 වසරේදී ග්ලූකෝමා රෝගයෙන් සදාකාලික අන්ධභාවයට පත්වූ ජයවර්ධන මහතා මිය යාමට පෙර දැඩි ලෙස රෝගාතුරවී සිටියේය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයවර්ධන මහතා මොනරතැන්නේ රජ්ජුරුවන් ලෙස ප්‍රේක්ෂක සිත් සතන් අතර නොමැකෙන නමක් දිනා ගත්තේය.

ගුවන් විදුලි නාට්‍යද නිර්මාණය කර ඇති ජයවර්ධන මහතාගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය වුයේ  "සීගිරි නළඟන" නාට්‍යයයි. 

ඊට අමතරව පද පෙරළි, රිසි පැන, දැනුම මිනුම ආදී ගුවන් විදුලි අධ්‍යාපන විශේෂාංග කීපයක්‌ද  ඔහු විසින් නිෂ්පාදනය කර තිබේ.

අභාවප්‍රාප්ත වු ඒ මහතාගේ දේහය පිළිබඳ  අවසන් කටයුතු අද (4) වැලිසරදී සිදුකිරීමට නියමිත බව ඒ මහතාගේ පවුලේ ඥාතීහු කියති.