(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සහෝදරියට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 17 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විත්තිකාර වෙලේ සුදා එදින අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ද නියම කළේය.
වසර දෙකක කාලයක් තුළ හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
මෙම කැඳවනු ලැබු අවස්ථාවේදී වෙලේ සුදා නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවට ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
වර්ෂ 2010 ජනවාරි පළමුවැනිදාත් 2012 අප්‍රේල් 25 වැනිදාත් අතර කාලය තුළදී කොළඹ හා අවට ප්‍රදේශ වලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කළ බවට සහ ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කර මුදල් හා දේපළ උපයාගත් බවට නීතීපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදලින් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, කොළඹ 07 බගතලේ පාරෙන් සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයෙන් තවත් නිවාස දෙකක්, අති සුඛෝපබෝභි බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ, රන්ආභරණ, බැංකු ගිණුම්වල මුදල් තිබූ බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැත්තියන්ය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසේල මුතුමුදලිගේ මහතා අධිකරණය අමතමින් මෙම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුනි 17 වැනිදා කැඳවීමට නියම කළේය.

