යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතකු බවත් සුසුම්නාවට සිදුවූ හානි මරණයට හේතුවන්නට ඇති බවත් දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.
වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකට අයත් දිවියකු යාල ජාතික වන උද්‍යානයේදී වාහනයක හැපී මිය ගොස් තිබේ. පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙම සත්ත්ව විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයකි. වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතේ ද නම සඳහන්ව ඇති මේ සත්ත්ව විශේෂය දක්නට ලැබෙන්නේ යාල විල්පත්ත ඇතුළු වනෝද්‍යාන කිහිපයක පමණි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින කොටි සංඛ්‍යාව 60ක් පමණ වන බවයි.
උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25 ක වේග සීමාවක් පනවා ඇත. වනජීවී නිලධාරින් පවසන්නේ සංචාරකයන් රැගත් වාහන ඇතැම් අවස්ථාවලදී අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් වන සතුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවන බවයි.



