ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසන් වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න ගැන ශ්‍රී ලංකා නව රජය ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් හඳුනාගෙන තිබීම ගැන ශ්‍රී ලංකා රජය ඔහු පසසයි.
මානව හිමිකම් මහ කොමසාරිස්ගේ සොයාගැනීම් හා නිර්දේශද අනුගමනය කළ යුතු යැයි දක්වා ඇති නව යාන්ත්‍රණයද රජයේ අදාළ බලධරයන්ගේ අවධානයට යොමු වන බව ලංකා රජය නිවේදනයක් මගින් කියයි.
ප‍්‍රකාශයට පත්වූ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන් ගේ විමර්ශන වාර්තාව මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
බදාදා (16) ප‍්‍රකාශයට පත්වූ එම වාර්තාව සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිචාරය සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාට හා ඔහුගේ කාර්යාලයට ලිපියක් යවමින් විදේශ අමාත්‍යාංශය මේ බව කියා සිටී.
එම ලිපියෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ, යෝජිත නව ආයතනවල සහ අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කරන බවය.
එසේම මානව හිමිකම් මහකොමසාරිස්වරයා එම වාර්තවෙන් ජනවාරි 8 වැනිදායින් පසුව ලංකාවේ නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා යුක්තිය තහවුරු කිරීම ආදී සිදුවූ වෙනස්කම් පිළිබඳ දක්වා ඇති ධනාත්මක ප‍්‍රතිචාරය පිළිබඳව සතුට පළ කරන බවද අමාත්‍යාංශය එම ලිපියෙන් පෙන්වා දී ඇත. තවද සිදු වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගන්නා බවද එහි සඳහන්ව ඇත.
නව රජය මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්යාලය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති ප‍්‍රතිචාරය පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යාංශය සතුට පළ කරන බවද එහි සඳහන්වේ.

