ජිනීවා යෝජනාව ඒකමතිකව සම්මත වෙයි


ශ්‍රී ලංකාවේ හා ඇමරිකාව ඇතුළු රටවල් 25 ක සහායෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනාව අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.10ට පමණ සම්මත විය.

ඡන්ද විමසීමක් අවශ්‍යදැයි සභාපතිවරයා විමසූ විට සභාව නිහඬවී සිටියේය.

යෝජනාව පිළිබඳව එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා යෝජනාව සම්මතවීමට පෙර කථාකරමින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බවයි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහාවන සංහිඳියාව, යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.

දකුණු අප්‍රිකා නියෝජිතයා කථා කරමින් ශ්‍රී ලංකාව ස්වයං විවේචනයක යෙදෙමින් අතීත සිද්ධි ගැන පරීක්ෂණයක් කිරීමට එකඟවීම අගය කරන බවත් එවැනි දේ ගැන බොහෝ අත්දැකීම් ඇති දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට හැම සහායක්ම දෙන බවත් පැවසීය. 13 වැනි සංශෝධනය අර්ථවත් ලෙස පනවා බලය විමධ්‍යගත කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ඩයස්පෝරාවේ හඬද මේ ප්‍රශ්නය විසඳීමේදී වැදගත් සාධකයක් බවත් දකුණු අප්‍රිකාව කියා සිටියේය.

ඝානා නියෝජිතයා කියා සිටියේ පසුගිය මාස 9 දී ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවයි.