ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු යැයි ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ උතුරේ දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සංවාදයට උතුරේ දේශපාලනඥයන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ආනන්දි ශෂීදරන් , එම්.කේ සිවාජීලින්ගම්, උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු වන ගජේන් පොන්නම්බලම් එක් වූ අතර වගවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි ඔවුහූ පැවැසූහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවිධ රටවල මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡාවට ලක්විය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ නව ආණ්ඩුව මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව, බෙල්ජියම, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයෝ ප‍්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී විදෙස් රටවල නිත්‍ය නියෝජිතයෝද , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝද අදහස් දැක්වූහ.
යුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුවීදැයි සෙවීමේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දැක්වෙන යෝජනාව පිළිබඳ විවාදය අද (30) එම කවුන්සිලයේදී සිදු කිරීමට නියමිතව තිබුණද සිදුවූයේ නියෝජිතයන්ගේ අදහස් දැක්වීමක් පමණි. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට නියමිතව තිබූ නමුත් එය ද සිදු නොවිණි. සැසිවාරයේ කටයුතු බ්‍රහස්පතින්දාට (1) කල් තැබිණි.

