ජාලිය වික්‍රමසූරියගේ අභියාචන පෙත්සම සලකා බැලීම 18 දා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


තමාගේ තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම ලබන 18 සලකා බැලීමට ශ්‍රේඨාධිකරණය තීන්දු කර ඇත.


මෙම පෙත්සම සිසිර ද ආබෘ , ඇල්.ටී.බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම සලකා බැලීමට නියම කෙරිණි.


මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස විදේශ අමාත්‍ය තිලක් මාරපන,එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.


ජාලිය වික්‍රමසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බලරහිත කරන මෙන් ඉල්ලා තමා මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ බවයි.


එම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඉකුත් මාර්තු මස තීන්දු කළ බව පෙන්වා දෙන ජාලිය වික්‍රමසූරිය මහතා එසේ ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය නීතියට පටහැනි බව කියා සිටියි.

මේ හේතුවෙන් තම පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනා අධිකරණය දුන් නියෝගය නීතිවිරෝධී බවට තීන්දු කොට තානාපති වරප්‍රසාද කප්පාදු කරමින් මෙරට විදේශ අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ජාලිය වික්‍රමසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ විශේෂ අභියාචනා පිරිස මෙන් ඉල්ලා තිබේ.