ජානක පෙරේරා ඝාතන නඩුවේ දේශනවලට දින දෙයි


උපාලි ආනන්ද 
 
රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙකුට තුවාල සිදු කිරිමේ සිද්ධියේ නඩුව ලබන මැයි  22 වැනි දා කැඳවීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  අද (23) නියෝග කළේය.
 
නඩුවේ පැමිණිලි  හා විත්ති පාර්ශවයේ දේශන එදින  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කැරිණි.  
 
මෙම නඩුව විභාගයට ගැනෙන්නේ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය  ඉදිරියේ   වන අතර අද නඩුව කැඳවූ අවස්ථාවේ මහාධිකරණ  විනිසුරුවරිය අධිකරණයට  පැමිණියේ නැත. පසුව නඩුව  අනුරාධපුර මහේස්ත‍්‍රාත්වරයා හමුවට  යොමු කෙරිණ.

 
මෙම අපරාධයේ ප‍්‍රධාන විත්තිකාර උමාර් හබිතාබි නැමැත්තා තවදුරටත් මැයි  22 වැනි දා දක්වා යළි   රිමාන්ඩ් කිරීමටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා  නියෝග කළේය.
 
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක්  සේ සළකා විභාග කිරිමට උතුරු මැද පළාත් බද අංක දෙක  මහාධිකරණයේ හිටපු විනිසුරු මෙන්ම ගම්පහ පළාත් බඅ සිවිල් අභියාචානා මහාධිකරණයේ වත්මන්  විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය පත් කර ඇත.  

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන  ද සිල්වා සහ විත්තියේ  නීතිඥ මහින්ද ජයවර්ධන යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය මෙලෙස පත් කරනු ලැබ සිටින්නීය.
 
මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 48ක් ලැබ සිටින උමාර් හබිතාබි නම් විත්තිකරු වසර  පහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසුවෙයි.