ජාතික හොකී ශූරතාව ආරක්‍ෂක සේවා පිලට


ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කළ 55 වැනි ජාතික හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව පිට පිට 16 වැනි වරටත් දිනා ගැනීමට ආරක්‍ෂක සේවා සංගම් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ඊයේ (8) නිමා වු මෙම තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගිවුහ. ආරක්‍ෂක සේවා සංගම් පිල සහ මාතලේ දිස්ත‍්‍රික් හොකී සංගම් පිල අතර පැවැති අවසන් මහා තරගයෙන් ආරක්‍ෂක සේවා පිල ගෝල 2/0 ක පහසු ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ශානක නන්දලෝචන ලබාගත් ගෝලයත් සමග ආරක්‍ෂක සේවා පිල ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. එම්. එම්. මුලාෆර් දෙවැනි අර්ධයේදී ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තේය. ආරක්‍ෂක සේවා පිල  ශූරතාව 16 වරක් දිනා ගැනීමේදී කිහිප වරක් සම ශූරයන් ද වී තිබේ. මාතලේ පිල පසුගිය වසරේද අනුශූරතාව ලද කණ්ඩායමයි. අවසන් පුර්ව තරගවලදී ආරක්‍ෂක සේවා පිල විසින් කොළඹ දිස්ත‍්‍රික් පිල (ගෝල 4/0* ද, මාතලේ දිස්ත‍්‍රික් පිල විසින් කෑගල්ල දිස්ත‍්‍රික් පිල (ගෝල 2/0) ද පරාජය කරන ලදී. කොළඹ දිස්ත‍්‍රික් පිල ගෝල 3/2 කින් පරාජය කළ කෑගල්ල දිස්ත‍්‍රික් පිල තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස මාතලේ දිස්ත‍්‍රික් හොකී පිලේ රජිත් කුලතුංග සම්මාන ලැබීය. අනුරුද්ධ හේරත් බණ්ඩාර සහ එම්. ජේ. එම්. නවුසාඞ් අවසන් මහා තරගයේ විනිසුරුවරු ලෙස කටයුතු කළහ.  ශූරතාව දිනාගත් ආරක්‍ෂක සේවා හොකී පිල