ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්‍රභා කරයි


( තිළිණි සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පිළිගත  හැකි  සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට වාර්තා නොකර සිටින සේවකයකු සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීම ට සේවා දායකයකුට සාධාරණ අයිතියක් ඇති බව  තීන්දු කරමින් ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචන පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

නිවාඩු  නොගෙන පුරා දින 21ක්  සේවයට වාර්තා නොකර සිටි  ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂකයකු වූ සිය සංගමයේ සාමාජිකයකු වෙනුවෙන් ජාතික සේවක සංගමය  ගොනු කල  අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ  නිෂ්ප්‍රභ කරමින්  මෙම තීන්දුව ලබා දී ඇත.

එස්.  තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස් , මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ. 

ලංකා ගමනා ගමන මණ්ඩලයේ  ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂක වරයකු වූ පී.ටයිටස් ජයන්ත  වෙනුවෙන්  ජාතික සේවක සංගමය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි  .

මෙහි වගඋත්තරකරු ලෙස ලංකා  ගමනා ගමන මණ්ඩලය නම් කරනු ලැබ තිබිණි.