(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ජාතික රෝහලෙන් රුපියල් ලක්‍ෂ 79ක මුදලක් කොල්ල කෑ බව කියන වෛද්‍යවරයා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා අද (11) නියම කළේය.
සැකකාර වෛද්‍යවරයා එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටස්තර කිසිවෙකුටත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සම්පුර්ණයෙන්ම ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර වෛද්‍යවරයා මෙලෙස රිමාන්ඩ බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියම කළේය.
සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මරදාන පොලිසියේ නිලධාරීහු වෙනත් රෝහලකට අනුයුක්තව විශේඥවරයකු වශයෙන් රාජකාරී කළ බව කියම සැකකාර වෛද්‍යවරයා පශ්චාත් උපාධියට අදාළ පුහුණුවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් එහිදී ඔහු රෝහලේ මුදල් අංශයට ගොස් මෙම කොල්ලකෑම සිදුකොට ඇති බවත් දැනුම් දුන්හ.
කොල්ලකෑම සිදුකිරීම සඳහා සෙල්ලම් පිස්තෝලයක් භාවිතා කොට ඇති සැකකරු කොල්ලකෑම සිදුකොට ත්‍රීරෝද රථයකින් පළායමින් සිටියදී ජාතික රෝහල් භූමියේ බුද්ධි රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරු දෙදෙනෙකු හා වෙනත් කටයුත්තක් සඳහා රෝහලට පැමිණ සිටි මාතර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත මහත්මිය සැකකරු ලුහුබැඳ ගොස් අත්අංගුවට ගෙන ඇතැයි දැනුම් දුන් නිලධාරීහු සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු එදින තෙක් රිමාන්ඞ් බාරයට පත් කළේය.

