ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හදිසි විමර්ශනයක්


විනීතා එම් ගමගේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත අද (28) පැමිණ හදිසි විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි එම මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරික්ෂණ කණ්ඩායම එහි පැමිණ ඇතැයි පැවැසේ.

විමර්ශන කණ්ඩායම අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඇති අතර විමර්ශනය තවදුරටත් පැවැත්වෙනු ඇතැයි ද එම මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.

වත්මන් අධ්‍යක්ෂවරයා මීට මාස 6කට පෙර පත්වීම ලබා පැමිණ ඇති අතර 2013 වසරේ ආරම්භ වී ඇති එම මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් දෙවසරකින් අවසන් කිරීමට නියමිතව ඇතත් තවමත් එය අවසන් නොවී තිබීමත් එහි මුදල් තවමත් ඉතිරි වී තිබීමත්, එම ව්‍යාපෘතිය සම්බන්ධ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳවත් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණලි කර තිබිණි.

අදාල ව්‍යාපෘතියේ දී මිලදී ගෙන ඇති සමහර උපකරණවලට අවශ්‍ය වන රසායන මිල දී ගැනීමේ දී සමාගම්වලට ඒකාධිකාරියක් පවත්වාගෙන යාමට ඉඩ සලසා දී ඇති බවට අධ්‍යක්ෂවරයා පැමිනිලි කර තිබිණි.