ජාතික මන්ත්‍රීධුරය ඉල්ලා කොමියුනිස්ට් පක්ෂය උසාවි යයි


පරාජිත   අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්  ඩී යූ ඩබ්ලිව් ගුණසේකර මහතා අද (2) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එසේම තමන්  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.

 මැතිවරණ කොමසාරිස් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී ප්‍රකාශිත ගැසට් නිවේදනයේ නම නොමැති සහ මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ කොමසාරිස් මෙරට ජනතාවගේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටි.

එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

තමන් ශ්‍රී ලංකාෙව් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්  බවත්,එය සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන්නේ යැයිද පෙත්සම්කරු කියා සිටී.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්  වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්ද කොමසාරිස්ට යැවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලැයිස්තුවේ තෙවැනියා ලෙස නම් කළද , එම සන්ධානයේ වත්මන් මහලේකම්වරයා විසින් සැකසුණු දෙවැනි  ලැයිස්තුවේ සිය නම ඇතුළත්  නොවූ  බව ද පෙත්සම්කරු කියා සිටී.තවත් පක්ෂ වලින් තරඟ වැදී පරාජයට පත්වූ අපේක්ෂකයින්ද පත් කර ඇතැයි එහි සඳහන් වේ.

තමන් ඇතුළත් නොකොට පරාජිත අපේක්ෂකයින් එම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් ලෙස පතA කිරීම ජනතාවගේ පරමාධිපත්‍ය බලය සර්වජන ඡන්ද අයිතියට බාධා එල්ලවීමක් වන බවද පෙත්සම්කරු කියා සිටී.එය ජනතා බලය මොට කිරීමක් බවද පෙත්සම්කරු කියා සිටී.

මෙම ක්‍රියාවලියෙන්  තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාව මඟින් පනවා ඇති නීතිය ඉදිරියේ සමාන ලෙස නොසලකා හැර ඇති හෙයින් මෙම පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, පරාජිත අපේක්ෂකයින් 11 දෙනා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.