ජාතික පුහුණුකරු යළි සේවයට කැමැත්තෙන්


ජාතික පාපැදි පුහුණුකරු තනතුරේ සේවයෙන් තාවකාලිකව ඉවත්ව සිටි උපාලි රත්නායක මහතා ජාතික සංචිතයට යළි සේවය ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ඔහු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට සහ ක‍්‍රීඩා පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහ මහතා දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් ලිපිය යොමු කර මේ වන විට දින ගණනාවක් ගෙවී ගොස් තිබුණ ද ඊට පිළිතුරු ලැබී නොමැත.
මාස හතරක කාලයක ජාතික පාපැදි සංචිතයේ සේවය අවසන් කරමින් කොරියානු ජාතික උපදේශක වොන් යොන් මහතා ඉකුත්දා දිවයිනෙන් පිටත්ව යෑමෙන් පසු මේ වන විට එහි පුහුණුකරු ලෙස වැඩ බලන්නේ භෞතචිකිත්සකයකු වන අනිල් ද සිල්වා මහතා බව වාර්තාවේ.
කෙසේ වුවත් කොරියානු පාපැදි උපදේශකවරයා සමග පුහුණු ක‍්‍රමවේද සම්බන්ධයෙන් ඇති වූ බව කියන මත ගැටුම් හේතුවෙන් උපාලි රත්නායක මහතා ජාතික පාපැදි සංචිතයට සේවය ලබාදීමෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.
කොරියානු පාපැදි උපදේශකවරයා ශ්‍රී ලංකා සේවයෙන් ඉවත්ව ගොස් සිටින බැවින් රත්නායක මහතා යළි සිහි කැඳවීමේ ලිපියක් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සහ පාපැදි අතුරු කමිටු සභාපතිවරයාට යොමු කර තිබේ.
මේ අතර කොරියානු පාපැදි උපදේශකවරයා ජාතික පාපැදි සංචිතයේ පුහුණු ක‍්‍රමවේද පවත්වා ගෙනගිය ආකාරය හා එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද ඒ මහතා එම ලිපියෙන් සවිස්තරාත්මකව විමසීමක් කර තිබෙන බවත් වැඩි දුරටත් වාර්තාවේ.