ජාතික පාසල් විදුහල්පති ධුරවලට ඉල්ලුම් කළ හැකි නව ක්‍රමවේදයක්



 
 
(නිමල කොඩිතුවක්කු)
    
පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පතිධුරයන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධුර සඳහා සුදුසුකම් ඇති  ඕනෑම අයකුට ඉල්ලූම් කළ හැකි නව ක‍්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


නිපුණතාවය මත පදනම් කරගනිමින් විදුහල්පතිවරුන් පත් කිරීමට ඉඩ සලසන ලෙසට මේ වනවිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.


විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 250කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඉදිරි සතිය තුළ අදාළ තනතුරු ගැසට් කරන බවද බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.


පළවෙනි වතාවට මෙවැනි විනිවිදභාවයක් සහිත ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවත් ඒ අනුව මෙතෙක් පැවති ආදී ශිෂ්‍ය සංගම් සහ දේශපාලඥයන්ට අවශ්‍ය විදුහල්පතිවරුන් ලබාදීමේ ක‍්‍රමවේදය අහෝසි වී යනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.