(බිඟුන් මේනක ගමගේ )
ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවකට ජාතික නායකයන් නොමැති බව ද එය රටේ අනාගතය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක් බව ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කළු ජූලියත් විසි හය වසරක යුද්ධයත් ජවිපෙ කැරැලිත් නිසා දේශපාලන පක්ෂවල දෙවැනි පෙළ නායකයන් අකල් මරණවලට ලක්වීම ඊට මූලික හේතුව යැයි ද ගුණසේකර මහතා කීය.
88-89 ඝාතන සමයේ තම පක්ෂයට පමණක් නායකයන් පනස් දෙනෙකු පමණ අහිමි වී යැයි කී හෙතෙම ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග, සරත් මුත්තෙට්ටුවේගම, රංජන් විජේරත්න වැන්නන්ගේ අකල් වියෝව අද දවසේදී තදින් දැනෙන්නේ යැයි අවධාරණය කළේය.
වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් දේශපාලන පක්ෂ අතර මතවාදී වෙනස්කම් පැවැතිය ද මෙම තත්ත්වය ගැන තමා කම්පා වන්නේ යැයි ද පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිකම නිසා එය තවත් නරක අතට හැරී ඇතැයි ද ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයට ලෝක ප්‍රවණතා ගැන අවබෝධයක් නැතැයි ද ඔවුන් දේශපාලනය කරන්නේ මනෝමූල කාරණා මත යැයි ද ගුණසේකර මහතා පැවසීය.
පත පොත නොකියවන ලෝකය ගැන උනන්දුවක් නැති පිරිසකගෙන් පාර්ලිමේන්තුව පිරී ඇතැයි චෝදනා කළ හෙතෙම දේශපාලනයට පිවිසෙන බහුතරයකගේ අරමුණ ව්‍යාපාර ආරම්භ කිරීම යැයි ද කීය.
පක්ෂවලින් මැතිවරණවලට නාමයෝජනා දෙද්දී සුදුසුකම ලෙස සොයන්නේ ධනවත්කම මිස බුද්ධිය නොවන්නේ යැයි ද ඊට පක්ෂ නායකයන් කෙලින්ම වගකිව යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

