ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුවේ ගිවිසුම් ගත කාලය පිළිබඳ හෙට (21) මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත යොමු කරන ලෙද අදහස් දැක්වීමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා - ‘‘මේ ප්‍රශ්නය ගැන මීට පෙර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු රැසක් විවිධ අවස්ථාවලදී කරුණු මතු කළත් සභානායකතුමා නිසා පිළිතුරක් ලබා දුන්නේ නැහැ. මේක ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක්.
ජාතික ආණ්ඩුවක් කියලා මේ පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් හදා ගත්තා. 19 වැනි සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවක් පවතිනවානම් පමණයි අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ට වඩා වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ.
මේ ජාතික ආණ්ඩුව ගොඩ නගා තිබෙන්නේ අවුරුදු දෙකකටයි. එය ඉදිරියට යෑම තීරණය කරන්නේ ඒ පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසුවයි. ඒ අවුරුදු දෙකකට අවශ්‍ය වන පරිදි අමාත්‍යවරු සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 සිට 48 දක්වා වැඩි කර ගැනීමටත් තමයි පාර්ලිමේන්තුව අනුමැතිය දුන්නේය.
මේ නිසා ඒ අවුරුදු දෙකෙන් පසුව ඇමැතිවරුන්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැතිවරුන් වැඩි කර ගැනීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත යුතුයි. නමුත් තවමත් ඒ දේ සිදුවී නැහැ. අමාත්‍යවරුන් වැඩි කර ගැනීමට දී තිබූ අනුමැතිය අවසන් වෙලා.
මේ නිසා මේ ඉන්න ඇමැතිවරුන් වලංගුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එහෙම නිසි පරිදි වලංගු නැති ඇමැතිවරුන්ගෙන් අපි ප්‍රශ්න අහනවා. මේ පාර්ලිමේන්තුවේ වලංගු නැති ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්න හෝ ඔවුන්ගේ බලය පිළිගන්න සූදානම් නැහැ. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් විභාග කරමු. තමුන්නාන්සෙලා ගත් හැම තීරණයක්ම වලංගු නොවන තීරණයක් බවට පත් වෙනවා . එම නිසා කරුණාකරලා ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළ යුතුයි.‘‘