ජාතික ආණ්ඩුව ඉදිරියට යන තීන්දුව මැතිවරණයෙන් පසුවට


(ඩයනා උදයංගනී)

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු ගන්නා බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
           

මැතිවරණ කාලසීමාවක් තුළ එවන් තීන්දු ගත නොහැකි බව කී අමාත්‍යවරයා එබැවින් එය මැතිවරණය අවසන් වන තුරු ප‍්‍රමාද කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි සඳහන් කළේය.

           

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ලියවිල්ලක් අත්සන් කර ඇති නමුත් එය ලියාපදිංචි ගිවිසුමක් නොවන බව කී අමාත්‍යවරයා එබැවින් එහි නීත්‍යානුකූල පදනමක්  නොමැති බව ද කීවේය.
           

එම ගිවිසුමේ ද කාලසීමාව මේ වන විට අවසන්ව ඇති බවත් ඒ පිළිබඳ පසුවිපරමක් කර එයින් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවී තිබේද නැතිනම් ඉදිරියේදී එම ඉලක්කයන් ළඟා කර ගත හැකිවේද යන්න ගැන පසුවිපරමක් කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.
           

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.