ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ පළමු සමුඑවට ජනපති ඉන්දියාවට යයි


ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාර්තු මස 11 වනදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සමුළුවට රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයින් 500 ක් පමණ එක්වීමට නියමිතය.

2015 නොවැම්බර් 30 වන දින පැරිසියේදී පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව සඳහා පදනම සකස් වූ අතර ඊට සූර්ය බල ප්‍රභවයන්ගෙන් පොහොසත් රටවල් 121 ක් ඇතුළත්ය.

ඒ සඳහා අනුගත වූ ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්යබල ශක්තිය පිළිබඳ තිබෙන තාක්ෂණය වඩාත් වේගවත් හා පුළුල් කරගැනීම, සූර්යබල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කර ගැනීම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ තීරණ ගැනීම උදෙසා පොදු වේදිකාවක් නිර්මාණය කර ගැනීම මෙම සමුළුව තුළින් අපේක්ෂා කරයි.

 සිය දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර දී ඉන්දීය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම සමුළුවට එක්වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ද සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය