හර්ෂණ තුෂාර සිල්වා
මිලියන 22ක කුඩා වෙළෙඳපොළක් තුළ වේගවත් ආර්ථික වර්ධන වේගයක් ලබාගත නොහැකි බවත් ඒ සඳහා විශාල වෙළෙඳපොළවලට පිවිසිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පැවැසීය.
අසල්වැසි වෙළෙඳ පොළවලින් ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ පොළවලට ප්‍රවේශ වීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකි බව ද අග්‍රාමාත්‍යවරයා කීය. ජාත්‍යන්තර වෙළෙඳ පොළවලට පිවිසින්නේ නම් තරගකාරීත්වය අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
කොළඹ කිංගස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ 6 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“ආර්ථික වර්ධනය කියන්නේ රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් ජනනය කිරීමයි. අද වනවිට ආර්ථික වර්ධනයේ වගකීම සහ මූලික කාර්යභාරය පැවැරී ඇත්තේ පෞද්ගලික අංශයටයි. මගේ ප්‍රශ්නය ඔබ එම අභියෝගයට මුහුණ දීමට සූදානම් ද ? එම අභියෝගය බාරගැනීමට තරම් විශ්වාසයත් ඔබ සතුව තිබෙනවාද යන්න විමසන්න මම කැමැතියි. ඒ සඳහා ශක්තිමත් දක්ෂ සහ අභියෝග බාරගැනීමට අධ්‍යක්ෂවරුන් අවශ්‍යයි.
මා කතා කරන්න බලාපොරොත්තු කරුණු කිහිපයක් මහ කොමසාරිස්වරයා කිව්වා. අපට තිබෙන්නේ මිලියන 22 වෙළෙඳපොළක් පමණයි. මෙවැනි පොඩි වෙළෙඳපොළක අපට වේගයෙන් වර්ධනය වෙන්න බැහැ. ඒ නිසා අපි විශාල වෙළෙඳපොළවලට ප්‍රවේශ විය යුතුයි. අසල්වැසියන්ගේ වෙළෙඳපොළවලට ප්‍රවේශ විය යුතුයි. කලාපීය වෙළෙඳපොළට ප්‍රවේශ විය යුතුයි. ඉන් අනතුරුව අපි ජාත්‍යන්තර වෙළෙඳපොළවලට පිවිසිය යුතුයි. වෙළෙඳපොළවලට පිවිසෙන්නට නම් අපි තරගකාරී විය යුතුයි. අපි තරගකාරී වෙන්න වෙන්න සාර්ථක වෙන්න වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න තිබෙන අවස්ථාව වැඩියි.
අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි ආරක්ෂණවාදය පුළුල් කරනවාද ? එහෙමත් නැතිනම් ලොවට විවෘත වෙමින් ඉදිරියට යනවාද ? යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපි 1977 දී ආර්ථිකය විවෘත කළා. එහෙත් අපට ඇතැම් දේ කරන්න විශ්වාසයක් තිබුණේ නැහැ.
එම කාලයේදී කලාපීය ආර්ථිකයේ ඇතැම් අංශවලින් අපි ඉදිරියෙන් සිටියා. එහෙත් ඒ සියල්ල වෙනස් වුණා. අද වනවිට අපේ ආර්ථිකයේ වර්ධනය උදෙසා මූලික දෑ පැමිණිය යුත්තේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන්. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන්. අපට ව්‍යාපාර අවශ්‍යයි. රැකියා අවශ්‍යයි. අපට සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයි. අපට නව තාක්ෂණය අවශ්‍යයි.
ඉන් අනතුරුව අපට ඇඟළුම් කර්මාන්තය තිබෙනවා. සත්කාරක හා සංචාරක ක්ෂේත්‍ර අපට තිබෙනවා. මේ ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය විය යුතුයි. අනෙක් රටවල එම කර්මාන්ත හා හොඳ තරගකාරීත්වයක් දිය යුතුයි”.
ඡායාරූප ළහිරු හර්ෂණ