හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.
අයවැය ඒකග්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ආර්ථික වර්ධනය උදෙසා ප්‍රතිසංස්කරණ කරමින් අදාළ පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිව්වැනි නිරීක්ෂණ සාකච්ඡාව සිකුරාදා (1) පවත්වන ලදි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි 3 වැනිදා ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම තීරණය කළේය. මේ වනවිට එයින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1ට වැඩි මුදලක් (එ.ජ ඩොලර් මිලියන 1,014ක් ශ්‍රී ලංකාවට මුදා හැර තිබේ.
සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
“රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අතිවිශාල බැවින් සහ විදෙස් අවරෝධකය පහත මට්ටමක තිබෙන බැවින් කම්පනවලට මුහුණ දීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එමෙන්ම ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත වර්ධනයක් උදෙසා පදනම දැමීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතු” යැයි එම නිවේදනය නිකුත් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා කීය.
