තරිඳු ජයවර්ධන
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොපවරා දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකරන ලද කැරලිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට ද පොදු සමාව ලබා දී නිදහස් කරනු ලැබූ බවත්, එම ප්‍රතිපත්තියම මෙම සිරකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැකි වන්නේ මන්ද යන්න තමාට තේරුම් ගත නොහැකි බවත් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සදහන් කර තිබේ.
අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටින බොහෝ දෙනකුට එරෙහිව ඇති එකම සාක්කිය ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ලබා ගත් පාපොච්චාරණ බව ද, සාමාන්‍ය නීතිය යටතේ ඒවා පිළිනොගන්නාමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒවා පිළිගන්නා බව ද, එහෙයින් එම පනත යටතේම සැකකරුවන් සිරකර තිබෙන බව ද විපක්ෂ නායකවරයා සදහන් කරයි.
මෙම නඩු තුළ යම් දේශපාලන පැතිකඩක් ඇති බවත්, ඒවා හුදෙක් නීතිමය කරුණු වශයෙන් ආමන්ත්‍රණය කළ නොහැකි බවත්, ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට නිසි කාලයේදී සාධාරණ විසදුම් ලබා දී තිබුණේ නම් සිරභාරයේ සිටින බොහෝ පුද්ගලයන් අද මේ රටේ ඉතා වැඩදායී පුරවැසියන් වශයෙන් සිටිනු ඇති බවත් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට දන්වා තිබේ.
මෙම ගැටළුව දේශපාලන කරුණක් සේ සලකා විසදුම් ලබා දීම ජනාධිපතිවරයාගේ යුතුකමක් බව ද, මෙම ගැටළුවට විසදුම් ලබා නොදුනහොත් එය සංහිදියාවටද දැඩි බාධාවක් වනු ඇති බව ද කියන සම්බන්දන් මහතා තවදුරටත් ප්‍රමාද නොකර මෙම සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.
සම්බන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද, අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මියට සහ නීතිපතිවරයාට ද යොමු කර තිබේ.

