බස්නාහිර පළාත් සභාව අද (6) රැස්වී තේ පානයෙන් පසු නැවත ආරම්භ කරන විට එහි ප‍්‍රධාන අමාත්‍යවරයා හා ඇමැතිවරුන්ද සභානායකවරයා හෝ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයාද සභාවේ නොසිටීමෙන් සභාවේ මුල් පුටු හතම හිස්ව පැවති අතර, ඔවුන්ට සභාවට පැමිණෙන ලෙස දැනුම්දීමට එම අවස්ථාවේ මුලසුන හෙබවූ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.
බස්නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එම සභා ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 9.30ට රැස්වූ අතර එම අවස්ථාවේ මහ ඇමතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධානීන් සියලූ දෙනා සභාවේ රැඳී සිටියත් තේ විවේකයෙන් පසු ඔවුන් කිසිවෙක් සභාවට පැමිණියේ නැත.
මේ හේතුවෙන් මෙහිදී විවාදයට ගැනුණු ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී මහින්ද ජයසිංහ මහතාගේ යෝජනාව ඔහු ඉදිරිපත් කළේ ඇමැතිවරු නොමැති හිස් අසුන්වලටය.
මේ අවස්ථාවේ නැගී සිටි ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරයෙක්, මැති ඇමතිවරුන්ට සභාවේ අසුන්ගෙන විවාදයට ගන්නා යෝජනාවට ඇහුම්කන්දෙන ලෙස දන්වන්නැයි මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව නියෝජ්‍ය සභාපතිවරයා එම දැනුම්දීම කළ අතර එය පිළිගෙන මැති ඇමැතිවරු සභාවට පැමිණි අතර පළමුව සභාවට පැමිණියේ ප‍්‍රවාහන අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාය.
ඉන් පසු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, අමාත්‍යවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ, සභානායක සුනිල් ජයමිණියන මහත්වරු ද සභාවට පැමිණියහ.
බස්නාහිර පළාතේ පාසල්වල විවිධ කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම නරත කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී මහින්ද ජයසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් හා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී දරුවන් හා දෙමාපියන් විඩාවට පත්කරන වත්මන් ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා ඉදිරිපත් කළ යෝජනාවක් විවාදයට ගැනුණු අතර එම යෝජනා දෙකම විරෝධතාවකින් තොරව සභා සම්මත විය.

