ජවිපෙ මන්ත්‍රී කොමිසම් වාර්තා පිටපත් ඉල්ලයි


(මුදිතා දයානන්ද)

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ඇතුළු විමර්ශන වාර්තා 34ක වාර්තා පිටපත් තමන් වෙත ලබාදෙන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (2) ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාරදුන්නේය.

ජනතාවගේ මුදල් වංචා කළ වංචාකරුවන් ගැන ජනතා මුදලින් පත්කළ කොමිසකින් කළ විමර්ශනයේ වාර්තාව දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් එම වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරිම ජනතාව පත් කළ, ජනතා මුදලින් නඩත්තු වන ජනාධිපතිවරයාගේ වගකීම බවත් මන්ත්‍රීවරයා එහදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

‘‘මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවේ හා බරපතළ මූල්‍ය වංචා විමර්ශනය කිරිමේ ජනාධිපති විශේෂ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබෙන වාර්තා 34ක පිටපත් ලබාදෙන ලෙස අපි අද (2) ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිගෙන් ඉල්ලා සිටියා. අපි හිතනවා මේ වාර්තාවල ඇතුලත් කරුණු ජනතාව දැනගත යුතු බව. ඒවා අධ්‍යයනය කිරිමෙන් ඊළඟට ගතයුතු පියවර ගැන අපි තිරණය කරනවා‘‘ යැයි ද ජයතිස්ස මහතා කීවේය.