ජවිපෙ කේන්දර බලයි : අලියාට අතට බහුතර බලයක් නෑ


ජනතාවගේ දේශපාලන මතය පැය 24ක් තුළ වෙනස්වන ප්‍රවනතාවක් රටේ ඇතිවී තිබෙන බවත් එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බිහි වීම වැඩි ඈතක නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

ප්‍රශ්නය -  කොහොමද ඔබ මෙම මැතිවරණයට මුහුණදෙමින් සිටින්නේ?

පිළිතුර - අපි ගම් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කරමින් ඉන්නේ ? ඊට අමතරව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් කලාකරුවන් අපිට ඡන්දය දෙන්න කියලා ජනතාව දැනුවත් කරනවා. අද උදැසනත් තරුණ කලාකරුවන් පිරිසක් ඒ ආකාරයට ජනතාව දැනුවත් කළා.

ප්‍රශ්නය -   ඔබේ පක්ෂයේ දේශපාලන මත නොදරන අයත් ඒ අතර ඉන්නවද?

පිළිතුර -  අනිවාර්යෙන්ම, අපේ දේශපාලන මතය දරන අය වගේම නොදරන අයත් ඒ අතර ඉන්නවා. ඔවුන් හැමෝම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව රටේ අවශ්‍යතාවය වෙනුවෙනුයි පෙනී සිටින්නේ?

ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ  බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් ඔබලාට තොරතුරු එනවා ඇති එළබෙන මැතිවරණයේ ඔබේ පක්ෂේ ජයග්‍රහණය කොහොම වෙයිද?

පිළිතුර -  මන්ත්‍රීවරු ගණන නම් කියන්න බැහැ. ඒත් මෙහෙම කියන්න පුළුවන්. මේ මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආණ්ඩුව කරවන්නේ අපි. පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට අපි පත්වෙනවා. රටට ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය -  ඇමති නියෝජ්‍ය ඇමති තනතුරු වලට කතා කළොත්?

පිළිතුර -  පැහැදිලිවම එකක් කියන්න නෑ. ආණ්ඩුව කරවන බලය අපිට තිබුණාට ආණ්ඩුව ඇතුළට යන්නේ නැහැ. හොද පනත් වලට සහයෝගය දෙනවා. රටට ජනතාවට අහිතකර හැම පනතක්ම පරාජය කරනවා.

ප්‍රශ්නය -  ඒ කියන්නේ ආණ්ඩුව වට්ටනවා. ඒ වට්ටලා ගෙන්න තියෙන්නේ තවත් එක පක්‍ෂයක් විතරයි නේද?

පිළිතුර -  ආණ්ඩුව පරාජය නොකර රටට ජනතාවට අහිතකරන පනත් පරාජය කරන්න පුළුවන්. තව එකක් කියන්න නෑ. සුළුතර ආණ්ඩුවක් පැවතීම රටට ජනතාවට හොදයි. මොකද වැරදි දේ කරන්න ඔවුන් බයයි.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා පත්වන ඔහුන්ගේ රජය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයකටම වගකීම් බාරදෙනවා කියලා. ඔබලාටත් යම් වගකීමක් පැවරෙයි නේද?

පිළිතුර - අපි වගකීමක් ගන්නවා නම් ගන්නේ යහපත් ආණ්ඩුවකින් විතරයි. නැතුව හොරුන් සමඟ යන ආණ්ඩුවකින් කිසිම වගකීමක් ගන්නේ නැහැ.

ප්‍රශ්නය -  නව රජය පත්වෙන්න ප්‍රථම ඔබ කොහොමද කියන්නේ ඒ ආණ්ඩුව ඇතුළේ හොරුන් ඉන්නවා කියලා.

පිළිතුර,  බලන්න මහින්ද රාජපක්ෂ වටා ඉන්න කට්ටිය දිහා. උපාසකලද? මහින්ද අවුරුදු නමයටම කරපු දේ රනිල් මාස තුනෙන් කළා. මෑත සිදුවුණු මහ බැංකු මුල්‍ය වංචාව තමයි මෑත ඉතිහාසයේ ලොකුම වංචාව.

ප්‍රශ්නය -  චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ ඔබට ඇමති තනතුරක් ලැබුණා. ඒ වගේම පක්ෂයට ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් ලැබුණෘ. පසුව ඔබලා එය අත හැරියා. ජනතාවට සේවය කරන්න ලැබුණු අවස්ථාවක් මගහැරුනා කියලා ඔබලාට දැන් හිතෙන්නේ නැත්ද?

පිළිතුර - අපි එදා ඇමැතිකම් අතහැර එළියට බැහැපු නිසා තමයි සුනාමි සහන මණ්ඩලය ක්‍රියාවට නංවන්න චන්ද්‍රිකාට බැරි වුණේ. ඒක ක්‍රියාවට නැගුවානම් මේ වන විට රට දෙකට කැඩිලා. රනිල්ගේ ඊනියා සටන් විරාමයටත් වඩා දරුණුයි. එකට ඇතුළු වී හිටපු නියෝජිතයින් පස් දෙනාගෙන් එක්කෙනයි සිංහල. මුස්ලිම් සාමාජිකයන් හිටියා කොටිත් හිටියා. විගණන නිලධාරියෙක් පත් කරලා හිටියා. මිනිහා පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නැහැ. අනික විදේශ ආධාර කෙලින්ම උතුරට ගෙනියන්න පුළුවන්. මේවා ගැන හොඳට හිතලා තමයි අපි එළියට බැස්සේ. එදත් අදත් අපි රට ජනතාව ගැනයි හිතුවේ. නැත්නම් අපිට තිබුණා ඇමැතිකම් අරගෙන ගල් කොරියක් ,බාර්, ලයිසන්, කොමිස් ගගහා සැප විදින්න. අපි විනයක් හික්මීමක් ඇති ආදර්ශවත් පක්ෂයක්.