(ආරියරත්න රණබාහු)
වැටුප් වැඩි නොකිරීමේ ප්‍රශ්නයක් මුල් කරගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන ප්‍රධාන කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක සේවකයෝ අද (28) පැය 4ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.
එම විරෝධතාවට ජල සම්පාදන ප්‍රධාන කාර්යාලයේ සහ දෙහිවල සහ මොරටුව කොට්ඨාසවල සියලු සේවකයෝ සහභාගී වන බව ඔහු කීය.
මෙම පිරිස් අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා මෙම සේවාවලින් ඉවත්ව ප්‍රධාන කාර්යාලයට රැස්වී විරෝධතාවයේ නිරත වන බව රත්නායක මහතා පැවැසීය.
ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම වසර තුනකට වරක් සිදුවන බව කී රත්නායක මහතා, ඒ අනුව මෙවර එය මෙම වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක කළ යුතුව තිබූ මුත් මෙතෙක් එය සිදු නොකළ හෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසි බව ද කීය.
ප්‍රධාන කාර්යාලය මුල්කරගෙන අද සිදුකරන විරෝධතාව ද පාලනාධිකාරිය සැලකිල්ලට නොගතහොත් මේ මස 30 වැනි දින සිට බස්නාහිර පළාතේ සියලු සේවකයන් ද සහභාගී කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවත් පැවැසීය.
ඉන් පසුව ද පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් ලබන මස 1 වැනිදායින් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ විරෝධතාවල නිරතවීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇති බව ද හෙතෙම කීය.