ජපානයේ සිටින ලාංකිකයින්ගෙන් කොරෝනා රෝහල් 14කට පරිත්‍යාග


(අංජුල මහික වීරරත්න)

ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් හා එක්ව ඇමෙරිකා ඩොලර් 225,000 කට අධික වටිනාකමෙන් යුතු උපකරණ රැසක් ලංකාවෙි කොරෝනා ප‍්‍රතිකාර රෝහල් වලට පරිත්‍යාග කළ බව ජපානයේ ලංකා තානාපති කාර්යාලය කියයි.

සති තුනක් ඇතුළත රෝහල්  14ක් සදහා මෙම පරිත්‍යාග කර තිබෙි.

මෙම ආධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හදුන්වා දුන් විනිවිද පෙනෙන ක‍්‍රමවේදය නිසා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උපකාර කිරීමට උනන්දුවෙන් සහභාගී වූ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

රෝහල් වල අවශ්‍යතාවය අනුව වෛද්‍ය උපකරණ සඳහා ලංකාවේ සැපයුම්කරුවන්ට සෘජුවම මුදල් ගෙවා මෙම පරිත්‍යාග කර තිබෙි.

ජපානයේ ක‍්‍රියාකාරි ශ‍්‍රී ලාංකික සංගම් හතරක් වන ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, ශී‍්‍ර ලංකා මෝටර් රථ අපනයනකරුවන්ගේ සංගමය, කන්සායි ජපාන ශ‍්‍රී ලංකා සංගමය සහ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය මෙම සත්කාරයට දායක වී ඇත.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, කන්තලේ මූලික රෝහල, බදුල්ල මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල,අයි.ඩී.එච් රෝහල,  මහනුවර ජාතික රෝහල ,මීගමුව මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ,ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ,මහමෝදර ශික්ෂණ රෝහල ,බලපිටිය මූලික රෝහල ,තෙල්දෙණිය රෝහල සහ හෝමාගම දිස්ත්‍රික් රෝහල සඳහා මෙම පරිත්‍යාගයන් කළ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

HFNO යන්ත‍්‍ර, BMC යන්ත‍්‍ර , Bi Paps යන්ත‍්‍ර, වෙන්ටිලේටර, ඔක්සිජන් රෙගයුුලේටර, NRBM යන්ත‍්‍ර, බහු පැරා මොනිටර, සිරින්ජ පොම්ප , ඉන්ෆියුෂන් පොම්ප පරිත්‍යාග කළ උපකරණ අතර වෙි.