ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී)
ජපානයේ ඔසාකා වෙත බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් කුඩා දැරියක සහ තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රජය සඳහන් කරයි.
ඔසාකා හි දෙවැනි නගරයට බලපෑ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.3 ලෙස සටහන් වී තිබේ.
භූමි කම්පාවෙන් වැඩිහිටි පුද්ගලයකු සහ නව හැවිරිදි දැරියක මියගොස් ඇතැයි ද තවත් පුද්ගලයකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී නමුත් එය තහවුරු කළ නොහැකි යැයි ද ජපාන රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂ්හිහයිඩි සුගා පැවැසීය.
“දැනට අපට දෙදෙනකු මියගිය බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම තවත් පුද්ගලයකු මියගිය බවට තොරතුරු කිහිපයක් ලැබී තියෙනවා. එහෙත් එම තොරතුරු තහවුරු කරන්න බැහැ” යැයි හෙතෙම වාර්තාකරුවන් හමු වේ කීය.
ජීවිතක්ෂයට පත්ව ඇති දැරිය ඔසාකා නගරයේ සිට උතුරට වන්නට පිහිටි තකත්සුකි නගරයේ පාසලක දැරියකි. භූමිකම්පාව හේතුවෙන් පාසලේ ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති අතර එම සුන්බුන්වල හිරවීමෙන් දැරිය මියගොස් තිබේ.
මියගිය අනෙක් පුද්ගලයා 80 හැවිරිදි පසුවූවකු වන අතර තාප්පයක් ඔහු මතට කඩා වැටීමෙන් හෙතෙම ජීවිතක්ෂයට පත්වී ඇත.
බලපෑ මෙම භූමිකම්පාව ප්‍රබල භූමිකම්පාවක් ලෙස හැඳින්වුවද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමක් සිදු නොවූ අතර දැඩි හානි සිදුව නැතැයි ද වාර්තා විය. කෙසේ නමුත් ජපාන වේලාවෙන් උදෑසන, කාර්යබහුල වේලාවක ඇති වූ මෙම භූමිකම්පාව නිසා බොහෝ දෙනා අපහසුතාවට පත්වූහ.
බොහෝ පිරිසකට කිසිදු තැනකට යා ගත නොහැකිව අතරමග හිරවී සිටි බව ද ජපන් පුවත් සේවා වාර්තා කර තිබිණි. භූමිකම්පාව හේතුවෙන් විදුලිබලය ඇණහිට ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනකට උදෑසන රාජකාරී කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය.
“අපි එක්ව වැඩ කරනවා. මිනිසුන්ගේ ජීවිත බේරාගන්න අපි ප්‍රමුඛත්වය දෙනවා” යැයි භූමිකම්පාවෙන් පසු ප්‍රකාශයක් කරමින් ජපාන අගමැති ෂින්සෝ අබේ පැවැසීය.
055