ජපාන සබේ ඇමැතීමට රනිල්ට පැය බාගයක් දෙයි


ශ්‍රි ලංකාවේ  ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා  ජපානයේ  කළ සංචාරයටත් වඩා  රටට ප්‍රතිලාභ රැසක් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ  ජපන්  සංචාරයේ දී  හිමි  වන බව ජපානයේ  නව ශ්‍රි  ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතාගේ සංචාරය සම්බන්ධයෙන්  ජපන්  රජය දක්වන උනන්දුව නිසාම ශ්‍රි ලංකාවේ රාජ්‍ය  නායකයකු  ජපානයේ  කරන වැදගත්ම චාරිකාව ලෙස මෙය සැලකිය හැකි  යයි ද තානාපති දිසානායක මහතා  ප්‍රකාශ  කළේය.

ශ්‍රි ලංකා අග්‍රාමාත්‍යවරයාට  ජපාන පාර්ලිමේන්තුව ඇමතීම සඳහා  විනාඩි 30 ක් වෙන් කිරිමෙන්  වික්‍රමසිංහ මහතාට  ජපන්  රජය දැක්වු  පිළිගැනීම සහ ගෞරවය පිළිබිඹු කෙරෙන බව තානාපති  කීවේය.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන්  නිල සංචාරය දෙරට  අතර  සහයෝගිතාවයට  සහ ඓතිහාසික ගැඹුරු  සම්බන්ධතා  වර්ධනය කිරිමට  දැඩි  පිටිවහලක්  වන බව ඔහු කිවේය.

ශ්‍රි ලංකා අගමැතිවරයාගේ  පස් දින සංචාරය අතිශය වැදගත්  රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් ලෙස ජපන්  රජය සලකන බව ඉතාම පැහැදිලියි. වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය දෙවැනි  විය හැක්කේ ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ  ජපන්  සංචාරයට  පමණයි. බොහෝ විට වික්‍රමසිංහ මහතාගේ  ජපාන සංචාරය ඊටත් වඩා  වැදගත් ඓතිහාසික ගමනක් විය හැකිය.

ජපන්  රජය අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ මහතාගේ  සංචාරය වෙනුවෙන් දින ගණනාවක්  මුළුල්ලේ  දැඩි කැපවිමකින්  යුතුව අවශ්‍ය  කටයුතු  සම්පාදනය කළා. ජපාන පාර්ලිමේන්තුව විනාඩි 30 ක් වික්‍රමසිංහ මහතාට වෙන් කළා. ආසියා පැසිෆික්  කලාපයේ  නායකයකුට  එවැනි අවස්ථාවක් හිමි වීම අතිශය දුර්ලභයි. අගමැති  රනිල්  වික්‍රමසිංහ මහතා  සැබැවින්ම ජපන්  රජයටත්,ජනතාවටත් සුවිශේෂ පුද්ගලයකු  බව හැම අතින්ම ඔප්පු  කර  තිබෙනවා.