දේශපාලන රැකවල් ඉල්ලා සිටි ශ්‍රී ලාංකිකයෙකු සඳහා සරණාගතභාවය ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් ජපාන අධිකරණ අමාත්‍යාංශය දුන් තීරණය එරට අධිකරණය විසින් අවලංගු කර ඇතැයි එරට පළවන ජපෑන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ජපාන අධිකරණ අමාත්‍යාංශ සිය ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එලෙස අගතියට පත් ලාංකික සරණාගතයෙකු විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ල විභාගයට ගෙන අවසන් කරමින් ටෝකියෝ දිසා අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇතැයි එම පුවත්පත් වාර්තා වේ වැඩිදුරටත් සඳහන්වේ.
නම් ගම් හෙළි කිරීමට අකැමැති පනස් අට හැවිරිදි මෙම ලාංකිකයා තමන්ට රජයේ ආරක්ෂක අංශ වලින් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියමින් 2006 වසරේදී ජපානයේ දේශපාලන රැකවල් ඉල්ලා ඇත. එම වසරේ ඔක්තෝබර් මාසයේදී සරණාගතභාවය ඉල්ලා යොමු කළ අයදුම්පත ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
එසේ තිබියදී මෙම සරණාගතයා කැනඩාවේ පදිංචිව සිටින සිය සහෝදරයා සමඟ වාසය කිරීමට ජපානයේ අචී ගුවන්තොටුපළේ සිට කැනඩාව බලා ගුවන්ගත වීමෙන් සිටයදී නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් නොමැති බව සඳහන් කරමින් ජපාන බලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.පසුව මෙම ලාංකිකයා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ගේ බාරයට පත්ව තිබේ.
එක්සත් ජාතීන් ගේ රැකවල් මධ්‍යයේ සිටි මෙම ලාංකිකයා ඉන්පසුව තවත් අවස්ථා දෙකකදී ම එරට සරනාගතභාවය ඉල්ලා සිටියද එම අවස්ථා දෙකම ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ජපාන රජයේ මෙම ක‍්‍රියාවට එරෙහිව 2011 වසරේදී ටෝකියෝ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කරමින් මෙම ලාංකිකයාට එරෙහි එරට අධිකරණ අමාත්‍යාංශ තීන්දුව අවලංගු කිරීමට අධිකරණය තීන්දු කළේය.
එසේම ඔහුට එරට සරණාගත තත්ත්වය ලබා දීමට ද ටෝකියෝ දිසා අධිකරණය තීන්දු කර ඇතැයි ජපෑන් ටයිම්ස් පුවත්පත කියා සිටී. මෙය ඉතාම දුර්ලභ නඩු තීන්දුවක් වන බවද මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
125