(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ විසි හතක් මේ දක්වා පරිත්‍යාග කරමින් චීන රජය ලබාදුන් සහයෝගය තමා ඉහළින්ම අගය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සංචාරක කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භවූ පසු මෙරටේ සංචාරය සඳහා පැමිණෙන්නැයි චීන ජනතාවට ඇරයුම් කරන බවද හෙතෙම සඳහන් කළේ ය.
ඔහු මෙසේ පැවසුවේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක තොගය සහ එන්නත් සිරින්ජර ලක්ෂ 16 ශ්‍රීලංකාවේ චීන තානාපති චී.චෙන්ග් හොන්ග් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් බාරදෙනු ලැබූ අවස්ථාවේදීය.
මෙරටේ වයස 30ට වැඩි සියලුදෙනාට ලබන අගෝස්තු මස අවසන්වීමට පෙර එන්නත ලබාදී අවසන් කරන බවද ජනපතිවරයා එහිදී සඳහන් කළේය.
චීනයෙන් ඊයේ ප්‍රදානය කෙරුණු එන්නත් තොගය උතුරු නැගෙනහිර පළාත්වල වයස 30ට වැඩි ජනතාවට ලබාදීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි .
මේරටට මේ දක්වා ලැබී ඇති කොරෝනා මර්දන එන්නත්වලින් සියයට 72ක්ම චීනයේ නිෂ්පාදිත සයිනොපාම් බවද එම කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති වරයාට එන්නත් බාර දීමේ මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ලූ චොන්ග් යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ.

