ජනාධිපති ගන්නා පැත්ත


(අංජුල මහික වීරරත්න)

කිසි විටෙක කාගේවත් පැත්තක් නොගන්නා අතර තමා ගන්නා එකම පැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේ පැත්ත  බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ අද (9) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ආණ්ඩුව ලෙස බලධාරීන්ට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 1996 වසරේදී ලංකාව ලෝක කුසලානය දිනා ගන්නා මට්ටමට රැගෙන ආ බව කී ජනාධිපතිවරයා තමා ,රජය ඇතුළු සියලු පාර්ශව වල එකම අරමුණ  විය යුත්තේ නැවතත් ඒ තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඒම යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අයි.සී.සී ආයතනය යම් කාරණයක් සම්බන්ධයෙන් පෙරේදා (8) කතා කර තිබෙන බවට තමාට ආරංචි ලැබී ඇතැයි කී ජනාධිපතිවරයා තමාට ඇති එකම බය ඒ කාරණය යැයිද සඳහන් කළේය.

වර්තමානයේ  පැන නැගී ඇති තත්ත්වය අනුව කමිටු දමා විසඳුම් සෙවීම පලක් නොවන බව කී ජනාධිපතිවරයා කළ යුතු එකම දේ සම්පූර්ණයෙන් ක්‍රිකට්  නීතිය වෙනස් කිරීම බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් චිත්‍රසිරි වාර්තාව ඒ අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා කීය .

ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව පැවසූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකල පාසල් ක්‍රීඩාව ගොඩනැගීම සම්බන්ධයෙන් තමාට ද වගකීමක් පවරා තිබූ බව කීය.

පාර්ලිමේන්තු කමිටු ශාලාවක දී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම හමුව පැවැත්විණි.