ජනමාධ්‍යවේදීන් දෙදෙනා ඉඳලා තියෙන්නෙ වැරදි තැනක


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනමාධ්‍යවේදීන් දෙදෙනා වේත්‍රධාරිවරයාගෙන් ලබාගත් විශේෂ අවසර පත්‍රයකින් තොරව පාර්ලිමේන්තුවේ අනවසර ස්ථානයක සිට වීඩියෝ ගත කිරීම් කර ඇතැයි ඒ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලදී  පෙනී ගොස් ඇති බවත් එවැනි ස්ථානයක වීඩියෝගත කිරීම්  කරද්දී මන්ත්‍රීවරුන් සංවේදීත්වයක් දැක්වීම වැළැක්විය නොහැකි කරුණක් බවත්කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (19) පැවසීය.

රටේ පවතින තත්ත්වය අනුව මන්ත්‍රීවරුන්  එලෙස සංවේදී වන්නට ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසූවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින්  හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කතානායකවරයා එහිදී මෙසේද පැවසීය.

2022 මැයි 17 දින විපක්‍ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභාවේ දී මතු කරන ලද, “මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබීමේ සිදුවීම”  සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙමි.

මෙම සිදුවීම පිළිබඳව, මා විසින් වේත්‍රධාරි වෙත දෙන ලද උපදෙස් ප්‍රකාරව, පාර්ලිමේන්තු පොලිසිය මගින් විමර්ශනයක්  සිදු කර වාර්තාවක්  ලබාදී ඇත.

2022-05-17 දින පෙරවරුවේ කාරක සභා කාමර අංක 01හි දී පැවැති ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් අනතුරුව පෙ.ව. 10.00ට පමණ ආපසු පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීමට අදාළ පුද්ගලයන් දෙදෙනා කටයුතු කර ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු බිම් මහලේ කාරක සභා කාමර අංක 01 පිහිටි කොරිඩෝව අසලද, අනෙක් පුද්ගලයා කාරක සභා කාමර අංක 05-06 පිහිටි ආලින්දයේද, රැඳී සිටිමින් මෙම කාර්යය සිදු කර ඇත. 

මෙම ක්‍රියාව සම්බන්ධව නොසතුට පළ කළ  මන්ත්‍රීවරු දෙදෙනෙක්   එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනා සතු ජංගම දුරකථන දෙක තම භාරයට ගෙන අනතුරුව, සභා ගර්භයට පැමිණ මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් කළ බව පැවසුවේය.

මෙම පුද්ගලයන් කවරන්ද යන්න විමර්ශනයක් කර   වාර්තාවක්  බාරදීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මේ පුද්ගලයන් දෙදෙනා පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සඳහා පැමිණෙන වාර්ෂික අවසර පත් හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් බවට අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හෝ වෙනත් ජනමාධ්‍යවේදීන් හෝ විසින් කාරක සභා රැස්වීම් අවසානයේ දී ගරු මන්ත්‍රීවරුන්ගේ හඬ ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධව වේත්‍රධාරිගේ අංක SA/E/02 දරන 2022-04-29 දිනැති උපදෙස් පත්‍රිකාව පාර්ලිමේන්තු පොලිසිය වෙත නිකුත් කර ඇති අතර එහි පිටපත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ විද්‍යුත් හා නව මාධ්‍ය සංසදයේ සභාපති/ ලේකම් වෙත ලබාදීමට ද, කටයුතු කර ඇත.

මෙම උපදෙස් මාලාවට අනුව, වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, වාර්ෂික පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත හා ජායාරූපය සහිත හැදුනුම් පත හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හට පමණක් එම හඬ ප්‍රකාශ ලබාගැනීම කළ හැකි අතර බිම් මහලේ ප්‍රධාන ආලින්දයේ වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතරතුර ප්‍රදේශය තුළ දී පමණක් එම කාර්යය සිදු කළ හැක.

කාරක සභා කාමර හෝ කාරක සභා කාමර ආලින්දවල සිට එවැනි කාර්යයක් සිදු කිරීම සඳහා වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, විශේෂ අවසර පතක් තිබිය යුතු වේ. මෙම අවස්ථාවේ දී, එවැනි විශේෂ අවසරයක් ලබාගෙන නොමැති බැවින් අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා අනවසර ස්ථානයක සිට මෙම කාර්යය සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

දිවයින තුළ උද්ගත වත්මන් තත්ත්‍වය යටතේ තමන් නොහඳුනන පුද්ගලයන් විසින් එවැනි ස්ථානයක සිට,  මෙවැනි කාර්යයක් සිදු කිරීමේ දී, ගරු මන්ත්‍රීවරුන් විශේෂ සංවේදීත්‍වයක් දැක්වීම නොවැළැක්විය හැකි කරුණකි. කෙසේ වුවද, මාගේ උපදෙස් පරිදි එදින පස්වරුවේ ජංගම දුරකථන දෙක අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා වෙත ලබාදීමට වේත්‍රධාරි  කටයුතු කර ඇත.

මින් ඉදිරියට ක්‍රියා කිරීමේ දී, පාර්ලිමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කිරීම මගින් මෙවැනි තත්ත්‍වයන් ඇතිවීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සියළුම පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත දන්වනු කැමැත්තෙමි.