ජනපතිවරණයට එන්න අවශ්‍යතාවයක් නෑ - ගෝඨා


චමිල් රූපසිංහ

2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් තමන් සැමවිට පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා තෝරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14)  මහනුවරදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසුයේ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවීම සඳහා අද (14) මහනුවරට පැමිණි අවස්ථාවේදීය.

ඇමරිකානු තානාපතිවරයා  ගෝඨාභය  රාජපක්ෂ මහතාට දේශපාලයට ඒමට ඉඩ නොදීම සම්බන්ධයෙන් අදහස් විමසූ විට ගෝඨාභය  රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

‘‘මම දන්නේ නෑ එහෙම ප්‍රකාශ කළාද කියල. නමුත් එහෙම ප්‍රකාශ කළානම් ඇමරිකානු තානාපතිවරයා එතරම් පහත් තත්ත්වයකට වැටෙයි කියා මා විශ්වාස කරන්නේ නෑ.

දූෂණය නැති කරනවා කියා කියන්නේ තමන්ට විරුද්ධ දේශපාලකයන් අල්ලා හිරේ දමන එක නොවෙයි.  දූෂණය නැති කරනවා කියන්නේ නියම හොරු අල්ලන එක. අපි හොරෙන් සල්ලි අරගෙන මුදල් හම්බ කළේ නෑ. දුෂණය නැති කරනවා කියා මිනි මරපු අය පැත්තක සිටියදී ඒවා නිවරදි ලෙස නිරික්ෂණය නොකර අසරණයන් පිටුපස එලවනවා. ‘‘